April 25, 2024

අලියෙකු මරා හොර රහසේම වළ දැමූ අයෙක් රිමාන්ඩ් (PHOTOS)

November 28, 2021

විදුලිය සැර වැදීමට සළස්වා වන ඇතෙකු ඝාතනය කර එම ඇතාගේ සිරුර හොර රහසේ වළ දැමූ බව කියන ගොවිපළ හිමිකරුවෙකුව ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

අතිරේක දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පුත්තලම - කල්අඩිය, සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවයි.

නීති විරෝධී ලෙස ගොවිපලකට විදුලිය ලබා ගෙන එම විදුලිය අලි වැටකට සවි කර වන ඇතෙකුව ඝාතනය කර හොර රහසේ වළ දමා ඇති බවට වන තොරතුරක් පුත්තලම සහකාර වන ජීවී අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලැබී තිබෙනවා. ඒ අනුව අවශ්‍ය තොරතුරු රැස් කිරීමෙන් පසුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අනතුරුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් අනුව අදාල ඉඩමට ඇතුළු වී එය පරීක්ෂා කිරීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම ඉඩමේ තිබී දින කීපයකට පෙර වළ දමා තිබූ වන ඇතෙකුගේ සිරුරක් වන ජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණයේදී සොයා ගෙන තිබෙනවා.එම වන ඇතාට අයත්ව තිබූ දළ යුගල තම බාරයට ගැනීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශණ කටයුතු වන ජීවී නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු කල්අඩිය - 6 කණුව ප්‍රදේශයේ ගොවි පළක් පවත්වා ගෙන යන බවත්,එම ගොවිපලට යාබද නිවසකින් නීති විරෝධී ලෙස විදුලිය ලබා ගෙන තිබූ බවත්ය.

එසේ නීති විරෝධී ලෙස ලබා ගත් විදුලිය අලි වැටක් සදහා සම්බන්ධ කිරීමටද සැකකරු කටයුතු කර ඇති බව එම විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

විදුලිය සම්බන්ධ කර තිබූ අලි වැටේ දැවටීමෙන් වන ඇතා මිය ගොස් ඇති බවත්,ප්‍රධාන සැකකරු තවත් කීප දෙනෙකුගේ සහාය ඇතිව බැකෝ යන්ත්‍රයක් ගෙනවිත් දැවැන්ත වළක් කපා ඇතාව වළ දමා ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුට නීති විරෝධී ලෙස විදුලිය ලබා දුන් බව කියන කාන්තාවක්වද වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඇතා වළ දැමීමට උපයෝගී කර ගත් බව කියන බැකෝ යන්ත්‍රයේ හිමිකරුගෙන්ද වන ජීවී නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.එම බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු මේ වන විට සැගවී සිටින බවද වන ජීවී නිලධාරීන් කියයි.

පුත්තලම සහකාර වන ජීවී අධ්‍යක්ෂක කාර්යාලය සහ පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

(ජුඩ් සමන්ත)

Rate this item
(0 votes)