April 20, 2024

තිස්ස කුට්ටි රහස් : දිස්ත්‍රික්ක තුනක තුන් වතාවක් පක්ෂ මාරු කළ හැටි

November 28, 2021

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මේ වනවිට ප්‍රසිද්ධ චරිතයක්.

ඒ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අමතා දෙපැත්ත කැපෙන අසභ්‍ය කතා කීම නිසා.

දිස්ත්‍රික්ක තුනක දේශපාලනය

ඒ සමගම කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පිළිබඳව බොහෝ තොරතුරු හෙළිදරව් වන්නට පටන් ගෙන තිබෙනවා.

මේ ඉන් එකක්.

මේ වන විට කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා දිස්ත්‍රික්ක තුනක් නියෝජනය කරමින් තුන් වතාවක් පක්ෂ මාරු කර තිබෙනවා.

ඔහු මුලින් ම නියෝජනය කළේ හම්බන්තොට දිස්ත්‍රික්කය.එහිදී ඔහු දේශපාලනය කළේ මහින්ද රාජපක්ෂ කදවුර සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්.

ඉන් පසුව මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය කොට ඌව පළාත් සභාවට තේරී පත් වුණා.

එහිදී ඌව පළාත් සභාවේ අය - වැය අවස්ථාවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ එවකට හිටපු මහ ඇමතිට සහය දීම සඳහා පක්ෂ මාරු කළා.

මොනරාගලින් බදුල්ලට

ඉන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි ඔහු හරීන් ප්‍රනාන්දු සමග එක්වී එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට යළිත් සම්බන්ධ වුණා.

එහෙත් ටික කලක් යත්ම කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ පිලිවෙත ගැන ඉව වැටුණු හරින් ප්‍රනාන්දු මහතා ඔහු සමග තිබූ සම්බන්ධතාවය අත හැරියා.

මේ වන විට පොදු ජන පෙරමුණ බිහි කොට තිබූ අතර එහි බදුල්ල දිස්ත්‍රික්කයේ භාරව කටයුතු කළේ කුමාර වෙල්ගම මහතා.

බැසිල් නොදත් රහස

කුට්ටිආරච්චි මහතා වෙල්ගම මහතාට පින්සෙණ්ඩු වී බදුල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ ආසනයක සංවිධායක ධූරය ලබා ගත්තා.

ඔහුට එසේ ආසනයක් ලබා දුන් බව පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාවත් දැන නොසිටි බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා ඒ බව දැනගෙන තිබෙන්නේ කුට්ටිආරච්චි මහතාට බදුල්ල දිස්ත්‍රික්කයේ ආසනයක් ලබා දීමෙන් පසු ඒ ගැන කුමාර වෙල්ගම මහතා බැසිල් රාජපක්ෂ මහතාව දැනුවත් කළ අවස්ථාවේදී.

මංගල සමඟ වැඩ

තිස්ස කුට්ටිආරච්චි මහතා කලක් අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා සමඟද කටයුතු කළා.

ඒ සමරවීර මහතා 2007 වර්ෂයේදී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී එළියට පැමිණ බිහි කළ ශ්‍රීලනිප "ම" පාර්ශවය සමඟයි.

කුට්ටිආරච්චි මහතා මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සිටියදී ඔහු සම්බන්ධ ප්‍රසිද්ධ කරුණක් තිබෙනවා.

ඒ 2010 මහ මැතිවරණ සඳහා එ.ජා.ප පක්ෂ මූලස්ථානයෙන් යැවූ මොණරාගල දිස්ත්‍රික් එ.ජා.ප අපේක්ෂක ලැයිස්තුවෙන් ඔහුගේ නම ටිපෙක්ස් වලින් මකා ඉවත් කිරීම සම්බන්ධයෙන්.

ඒ එවකට එ.ජා.පයෙන් මොණරාගල දිස්ත්‍රික්කයට නායකත්වය දුන් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ වැඩක් ලෙසටයි ප්‍රසිද්ධ වුණේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 16:44

Related items