April 25, 2024

පාසල්වලත් කොවිඩ් පැතිරීමේ අවධානමක්

November 28, 2021

මේ වන විට මෙරට පාසල් පද්ධතිය තුළ කොවිඩ් 19 රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගුරුවරුන් සියයකට පමණ හා සිසුන් දහසකට පමණ රෝගය වැළඳී දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව පවතින බවත් ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

මහනුවර ජන මැදුර ශාලාවේ ඊයේ (27) දින පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ඉහත අදහස් පළ කළා.                                                                                  

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

"කුමන තත්ත්වයක් මත හෝ පාසල් ආරම්භ කරන ලෙස රජය උපදෙස් ලබා දුන්නත් මෙම පාසල්වල විධිමත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරලා නෑ. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රජය මුදලක් වෙන් කරලත් නෑ. මේ වන විට දිවයින පුරා පාසල්වල කොවිඩ් 19 රෝගය ඉතාමත් අන්තරාදායක ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. උතුරුමැද පළාතේ මේ තත්ත්වය ඉතාමත්ම අවදානම් බවට පත්වෙලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගුරුවරුන් සියයකට පමණ මෙන්ම පාසල් දරුවන් දහසකට පමණ මේ වන විටත් රෝගය වැළඳිලා කියලා අපිට වාර්තා වෙලා තිබෙනවා. උතුරු මැද ප්‍රධාන පාසල් රැසක පන්ති රැසක් වසා දමා තිබෙනවා. පාසල් දරුවන්ගේ පැමිණීම ඉතාමත් අඩු මට්ටමකට පැමිණිලා තිබෙනවා. මේ වන විට මෙරට පාසල් පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දෙමව්පියන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලයි තියෙන්නේ. මේ තත්ත්වයට රජය වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරලා නිසි සෞඛ්ය ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කළේ නැත්නම් ඉතා ඉක්මනින් නැවතත් පාසල් වසා දමන්න වෙනවා. ඒ වගේම පාසල් කොවිඩ් පොකුරක් නිර්මාණය වන එක කාටවත් නවත්වන්න බෑ. තවත් පමා නොවී වගකීමෙන් අවශ්‍ය පියවර ගත්තොත් මේ ව්‍යවසනය නවත්තන්න රජයට පුළුවන්."

"ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න රුපියල් බිලියන 30 ක් වෙන් කළා කියලා රජය කීවත් රජය මේ වන විට රජය ක්‍රියාත්මක වන ආකාරය දුටුවම ඒ සම්බන්ධයෙන් බරපතල සැකයක් අපට උද්ගත වෙලා තිබෙනවා. රජය අපිට පොරොන්දු වුණා ගුරු සේවය සංවෘත සේවයක් බවට පත්කරන ගැසට් පත්‍රය නොවැම්බර් මස 20 දින නිකුත් කරනවා කියලා. නමුත් මේ දක්වාම ඒ ගැසට් පත්‍රය නිකුත් කරලා නෑ. එහෙම කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම තව තවත් කල් මරන්නද කියලා අපට සැකයක් තියෙනවා. අපි රජයට කියන්නේ ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් එළිදක්වලා ලබන වසරේ ජනවාරි 20 වැටුපට වැටුප් විෂමතා නිවැරදි කරලා වැටුප් ලබා දෙන්න කියලයි. රජය එහෙම කරේ නැත්නම් තවදුරටත් අපිව රවටන්න උත්සාහ කරනවා නම් ජනවාරි 21 දින සිට අපි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. ඒ වෘත්තිය ක්‍රියාමාර්ගය අපි බරපතළ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා."

"මේ රටේ දේශපාලකයන් මේ වන විට කොරෝනාව පැත්තකට දාලා ජනප්‍රිය පාසල් වලට ළමයින් පිරවීමේ තරගයක නිරත වෙලා ඉන්නවා. 2021 වසර වන විට එක පංතියක ළමයින් 35 ක් පමණක් සිටිය යුතු බවට අධිකරණ නියෝගයක් තියෙනවා. රජය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ පිළිබඳව එකඟවෙලා තියෙනවා. නමුත් නීතිපති උපදෙස් වලින් පවා තොරව මේ වන විට රජයේ පාසල් වලට ළමුන් 40 දෙනෙක් ඇතුළත් කරන්න කියලා විදුහල්පතිවරුන්ට ලිපියක් මගින් දැනුම් දීලා තිබෙනවා. මේක අධිකරණයට අපහාස කිරීමක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොතකා හැරීමක්. අපි විදුහල්පතිවරුන්ට කියනවා මේ ලිපියට අනුව ළමුන් 40ක් ඇතුළත් කරන්න එපා කියලා. අපි අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවරක් ගන්නවා. අධිකරණ තීන්දුවට ගරු නොකරන සියලුමදෙනාට එදාට අධිකරණය හමුවේ පෙනී සිටින්න වෙනවා." යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.       

(කමල් - සුරවීර මහනුවර)                                               

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 21:40