March 29, 2024

"විවේචන ආවත් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි" - ජනපති

November 27, 2021

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළා.

1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කෙරිණ. මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි.

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරෙනවා.

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර තිබෙනවා. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතින බව සඳහන් කළා.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති අතර මෙම නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවතින බවත් ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බවට සහතික වූ ජනාධිපතිවරයා, අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බව ද පැවසුවා.

ලබන වසරේ සිට පැහැදිලි අපනයන සංවර්ධන සැලැස්මක් යටතේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ගෙවෙමින් පවතින කාලය තුළ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ අභියෝග රැසක් මැද අපනයන ක්ෂේත්‍රයේ නියැලි පිරිස ඉටුකරන මෙහෙය රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට ඉවහල් වීඇති බව පෙන්වා දුන් ඇමතිවරයා අපනයනකරුවන් සියලු දෙනාට ප්‍රණාමය පුද කරන බව ද කියා සිටියා.

Rate this item
(0 votes)

Related items