April 25, 2024

ශ්‍රීලනිපයට ලොකු ඉල්ලීමක්! තීන්දුව ගැන ඇමති දුමින්ද කියයි

November 26, 2021

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරනවාද යන්න තවම තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු යැයි විශාල ඉල්ලීම් ප්‍රමාණයක් තිබෙන බවත් සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

නමුත් පක්ෂය විසින් තවම අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් එම තීන්දුව ගැනීමට තව කල්වැඩි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

රජරට ගොවි මහත්වරුන්ගේ ඡන්දයෙන් පත් වු මන්ත්‍රීවරයෙකු ලෙස හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වූවෙකු ලෙස පොහොර ආනයනයට පියවර ගැනීමට රජය ක්‍රියා කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවද දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින කිහිපය පුරා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධූර සදහා අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සලකා බැලීමේ මූලික වටයේ සම්මුඛ පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත් වූ අවස්ථාවේ දී මාධ්‍ය විසින් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙම සම්මුඛ පරීක්ෂණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල් යන මහත්වරුන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබීය.

මෙහිදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න සඳහා වැඩිදුරටත් පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍යවරයා

"පොහොර ආනයනය කිරීමට රජය තීන්දු කර ඇති නම් ඉතාමත් හොඳයි. හැබැයි ඉතින් මේ කන්නයට මේ තීන්දුවත් එක් සාධාරණයක් වෙන්නේ නැහැ. මේ කන්නයේ ගොවීන්ට මං හිතන්නේ විශාල අසාධාරණයක් සිදු වුණා . නමුත් පසුව හරි මේ තීන්දුව ගත්ත එක ඉතාමත් හොඳයි. මම හිතන්නේ මේ තීන්දුව ගැනීම විපක්ෂයේ ජයග්‍රහණයක් නෙවෙයි. රටේම ගොවිමහත්වරු මේ පිළිබඳව දැඩි විරෝධයක් දැක්වුවා. ගොවීන්ගේ හඬට ඇහුම්කන්දීමක් ලෙස අපට මෙය සලකන්න පුළුවන්. මම හැමදාම හිටියේ කාබනික පොහොර හොඳයි, හැබැයි මේ ක්‍රමවේදය වැරදි කියන තැන. මේ පිළිබඳව විශාල විරෝධයක් තිබුණා ."

ගොවීන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රජය යම්කිසි සාධාරණයක් කරයි. මොකද මෙතන ජනාධිපතිතුමන්ගේ ඉඳන් අපි හැමෝම ප්‍රකාශ කරල තියෙනවා ගොවිමහත්වරුන්ට යම්කිසි අසාධාරණයක් වුණොත්, ඒ අසාධාරණයට සාධාරණ වන්දියක් ගෙවනව කියන පණිවිඩය අපි එළිපිටම කියපු දෙයක්. ඒ නිසා මේ කන්නයේ ගොවීන්ට යම් අසාධාරණයක් සිදු වුණොත් ඒ පිළිබඳ වගකීම ආණ්ඩුවට ගන්න සිදුවෙනවා. පැහැදිලිවම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ කාබනික පොහොර භාවිත කිරීම. රසායනික පොහොර ප්‍රවර්ධනය කිරීමට රජය ක්‍රියා කරන්නේ නැහැ. නමුත් ගොවි මහත්වරුන්ට අවශ්‍ය නම් ලබන කන්නයේ සිට රසායනික පොහොර භාවිත කිරීමට හැකියාව තියෙනවා. අතීතයේ ඉඳන්ම වී වගාවට තමයි ආණ්ඩුවෙන් අවශ්‍ය පොහොර ලබාදුන්නේ, වෙනත් භෝග සඳහා පුද්ගලික අංශයෙන් තමයි පොහොර ආනයනය කළේ. නමුත් මේ අවස්ථාවේ හැටියට පෞද්ගලික අංශයට මේ කන්නයට භාවිත කිරීමට අවශ්‍ය රසායනික පොහොර ඉක්මනින් ආනයනය කිරීමට හැකියාවක් ඇතැයි මං හිතන්නේ නැහැ."

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තනිව තරග වැදීමට අදහස් කරනවා ද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසූවේ "පක්ෂයක් ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීන්දුවක් අරගෙන නැහැ. නමුත් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තනිවම තරග කරන්න කියල. නමුත් පක්ෂය විසින් තවම අපි අවසන් තීන්දුවක් අරගෙන නැහැ. ඒ තීන්දුවට යන්න තව කල්වැඩියි. මැතිවරණය පිළිබඳව කාල වකවානුවක් තවම තීරණය කරල නැති නිසා " 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 01:02

Related items