March 29, 2024

ජනතාව මරණ බියේ - තැන තැන ගෑස් පිපිරිම ලොකු අවුලක් වෙයි

November 25, 2021

රටේ පසුගිය සති කිහිපය තුල ගෑස් සිලින්ඩර් පිපිරීමකට ලක්වීමෙන් සිදුවූ අනතුරු කිහිපයක් පිලිබදව වාර්තා පළ වුණා.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

කොට්ටාව පොලීසිය පැවසුවේ, අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බවයි.

පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණා.

කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස පැහැදිලි කළා.

"පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ."

මෙම මාසයේ දී ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වුණා

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබුවා.

පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක ද පිපිරීමක් සිදුවූ අතර එය ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක පසුගිය 20 වැනිදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබුවා.

ඊට අමතරව වැලිගම, කප්පරතොට, ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබුණා.

එම පිපිරීමෙන් මෙම සංචාරක හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළ අතර අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවද සඳහන් කළා.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුයි.

නිසි අනුමැතියකින් තොරව මෙරට සමාගම් විසින් ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවට වාර්තා පළ වෙනවා.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව ගෑස් සමාගම් විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කර තිබෙනවා. 

සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බවයි වාර්තා වන්නේ.

ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතිනවා.

මෙවැනි වටපිටාවක් ඇති වී තිබෙන පසුබිමක ලිට්‍රෝ සමාගම ඊයේ (24) මාධ්‍ය හමුවක් පවත්වා ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි කළා.

ඒ වෙළෙඳපොළේ පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින්.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා,

"සියලුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි මේ සියලුම ගෑස් සහ සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන්නේ."

ලිට්‍රො ගෑස් ලංකා සමාගමේ රසායනික හා ක්‍රියාදාම ඉංජිනේරු ජයන්ත බස්නායක මහතා,

"කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය අසල පිහිටි පෞද්ගලික අවන්හලක ඇතිවූ සිද්ධිය තමයි මෑතකදී සිදුවූ ප්‍රධානම සිදුවීම. එම ස්ථානයට අපේ ආයතනයෙන් LP ගෑස් සැපයුම සිදු කළේ නෑ. ඊට කලින් සිදුවීම් කිහිපයක් සිදුවුණා. ඒවා අපි අධ්‍යයනය කළාට පස්සේ අපිට දැනගන්න ලැබුණේ LP ගෑස් සිලින්ඩරය හා සම්බන්ධ කරන අනෙකුත් උපාංග..බටය වෙන්න පුළුවන්, උදුන වෙන්න පුළුවන්. දෝෂයක් නිසා LP ගෑස් කාන්දුවීම නිසා එම අනතුරු සිදුවෙන්නේ කියලා."

මේ පිළිබඳව අනාවරණයක් කරමින් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කලේ ලංකාවේ භාවිත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය බරපතළ ලෙස වෙනස් කිරීමකට බදුන් කොට ඇති බවයි.

එම තත්ත්වය යටතේ ගෑස් සිලින්ඩරයක් ගෙදර තබාගෙන සිටීම යනු බෝම්බයක් ගෙදර තබාගෙන සිටිනවා හා සමාන කටයුත්තක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

තැන තැන ගෑස් සිලින්ඩර් පුපුරා යාමට හේතුව එය බවත් මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළා.

තමන් මෙය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් දෙදෙනාටම ඉකුත් මැයි මාසයේ දැනුම් දුන්නද ඔවුන් එය ගණනකට නොගත් බවද ගුණවර්ධන මහතා සඳහන් කළා.

එය මිනීමැරුමකට අනුබල දීමක් බවද හෙතෙම කියා සිටියා.

සබැඳි පුවත් - කොළඹ ගොඩනැගිල්ලක විශාල පිපිරීමක් (PHOTOS)

                අලව්වේ පිපිරීමක්

                ගෑස් ටැංකියක් පුපුරා යයි

                සෑම ගෙදරකම තියෙන්නේ බෝම්බයක්..ගෑස් ටැංකි පිපිරුවොත් මේ ඇමතිලා ජීවිත වලට වගකියනවද?

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 November 2021 13:22