April 20, 2024

දැන් ලොකු අවුලක් වෙලා ඉවරයි..මේකට වගකියන්න ඕන ඇමැති මහින්දානන්ද - මෛත්‍රී කියයි

November 25, 2021

වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රට තුළ මේ වන විට ඇතිවී ඇති අවුල් සහගත තත්වය නිවැරදි කරගැනීමට කාලයක් ගතවනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එය පහසු කරුණක් නොවන බව ද ඔහු සඳහන් කළා.

රසායනික පොහොර යළි ආනයනය කරන්නේ නම් ගොවි ජනතාවට සහනදීමත් කළ යුතු බවත් මේ වන විට ගොවි ජනතාවට කිසිම සහනයක් නොමැතිය අසහනය හා ආර්ථික අපහසුතා හේතුවෙන් වහ බොන්නට වන තත්වයක් උද්ගත වී ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

රසායනික පොහොර ගෙන්වීම සිදුවන ආකාරය ගැන කිසිඳු නිල තොරතුරක් තමන්ට ලැබී නැතැයිද මේ වන විට ගොවි ජනතාව දුක් වේදනා සහිතව අසරණ වී සිටින බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

කාබනික පොහොර වෙත යොමුවීම ප්‍රතිපත්තියක් ලෙස ඉතා හොඳ වුවත්, ගැටලුවක් ඇතිවූයේ එහි සැලැස්ම වරද්දා ගත් නිසා යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමාද ජනාධිපතිවරයා හා මහවැලි ඇමතිවරයා ලෙස සිටි සමයේ ඒ කෙරෙහි යොමුවීමට උත්සාහ කළ බව කියා සිටියා.

මෙහිදී පළමුව ආදර්ශ ව්‍යාපෘති තුළින් කටයුතු ආරම්භ කර පසු ක්‍රමයෙන් වර්ධනය කළ යුතු බවත් කාබනික පොහොර භාවිතයට රටක්ම යොමුකිරීම එක රැයින් කළ හැක්කක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවති පක්‍ෂ ආසන සංවිධායකවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Rate this item
(1 Vote)