March 29, 2024

ඇමති, ලේකම් යළි මත ගැටුමක (VIDEO)

November 22, 2021

වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව අද (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවයි.

මේ අතර වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ, නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින් සිදුවිය හැකි ආහාර ගැටලුව විසඳීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළා. 

ආනයනය කරනු ලබන පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය යුතු බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර, වගාවන් කිහිපයකට රසායනික පොහොර ආනයනය කිරීමට පියවර ගත් බවට ප්‍රචාරය වීමත් සමඟ දේශපාලනඥයින් ඒ පිළිබදව විවිධ අදහස් පළ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එවැනි තීරණයක් ගැනීමට සමගි ජන බලවේගය විසින් එල්ල කළ බලපෑම හේතුවූ බවයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද සදහන් කළේ රසායනික පොහොර ආනයනයට කිසිදු තීරණයක් ගෙන නොමැති අතර දිලීර හා පළිභෝද නාශක සදහා පමණක් එවැනි තීරණයකට එළඹ ඇති බවයි.

රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. 

ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 22 November 2021 19:00