April 25, 2024

අනුමැතියක් නැතිව ආයෝජන මණ්ඩලයේ 7කට ලොකු පඩියක්! හිටපු ලොකු තැනැත්තියකට ලක්ෂ ගණනක වැටුප් ගෙවලා

November 13, 2021

විධිමත් ව්‍යාපෘති සැලැස්මක් හෝ විධිමත් ගෙවීම් සැලැස්මකින් තොරව ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 3352ක මුදලක් විවිධ ආයතනවලට ගෙවා ඇති බව කෝප් කාරක සභාවේදී අනාවරණ වුණා.

ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඹහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම, ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගනිමින් විශාල මාසික වේතනයක් ගෙවා පුද්ගලයින් 7 දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු කෝප් කමිටුවේ සාමාජිකයින් එහිදී ආයෝජන මණ්ඩලයෙන් විමසීමක් කළා.

මෙයට අමතරව විධායක අධ්‍යක්ෂකවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයිද සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021 කාලයේදී රුපියල් කෝටියකට වැඩි මුදලක් ඇයට ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුවේදී දීර්ඝව සාකච්ඡා කෙරුණා.

ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප රුපියල් ලක්ෂ 10 ක් බවද වැඩිදුරටත් හෙළි වුණා.

රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 10:44