April 19, 2024

"අපි පාවලා දුන්නේ නැහැ යකෝ" - ගුරු සංගම් අතර උණුසුම් තත්වයක් (VIDEO)

November 10, 2021

අදියර 3 කින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක්වර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ වුණා.

ඒ අනුව මෙවර අයවැයෙන් ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කෙරෙන අතර, ඒ සමග ගුරු විදුහල්පති වැටුප් අර්බුදයට අද සාධනීය විසඳුමක් හිමිවුණා.

එසේම, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7% කට වැඩි ප්‍රමාණයක් වෙන්කර ඇති බවද එම සාකච්ඡාවේදී අනාවරණ වුණා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මාස තුනකට අධික කාලයක් පැවතියා.

අදාළ ගැටළුවට විසඳුම් යෝජනා කිරීම සදහා අමාත්‍ය අනුකමිටුවක්ද පත් කෙරුණු අතර, ඔවුන් සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් අතර පසුගිය ජූලි මස 27 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වුණා.

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගුරු සංගම් දිවයින පුරා උද්ඝෝෂණවලද නිරත වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්ත්‍ර පරිශ්‍රයේ අද පෙරවරුවේ ගුරු සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණේ එවන් පසුබිමකයි.

ඊට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල ඇතුළු මහත්වරුන් පිරිසක්ද එක්ව සිටියා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් යෝජනා කළ වාර්තාවේ වැටුප් වර්ධකය එක් අදියරකින්ම ලබාදීමට එහිදී එකඟතාව පළවුණා.

ඒ අනුව පළමු පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 11,820 කින් ඉහළ යන අතර, දෙකේ එක පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 8,250 කින් සහ දෙකේ දෙක පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 6,535 කින් ඉහළ යනු ඇති. 

තුනේ එක පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 5,875 කින් ඉහළ දැමෙන අතර, තුනේ දෙක පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 3750 කින් ඉහළ දැමෙනවා.

එසේම, පළමු පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 12,020 කින් ඉහළ දැමෙන අතර, දෙවන පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප ඉහළ දැමෙන්නේ රුපියල් 8,645 කින්.

තුන්වන පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 6,895 කින් ඉහළ නැංවෙනු ඇති. 

කෙසේ වෙතත්, සාකච්ඡාව අවසානයේදී රජයේ ගුරුවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා,

"ඔයාට මං මොකක්වත් කිව්වේ නෑ. ඇයි මොකක්ද?. ඇයි මොකක්ද ප්‍රශ්නේ. කොහෙද පාවලා දුන්නේ."

වෙනත් ගුරු සංගමයක නියෝජිතයෙක් - "ඇයි මොකද? පාවලා දීලා නිකං අනන්මනන් දාන්න එපා."

මහින්ද ජයසිංහ මහතා - "ඔය චණ්ඩිකම් තියාගන්න ඔයාලගේ ගමේ."

වෙනත් ගුරු සංගමයක නියෝජිතයෙක් - "අපි චණ්ඩිකම් නෙමෙයි. නියම වෘත්තීය සමිති නිලධාරියෙක් විදිහට කතා කරන්න මහත්තයා."

මහින්ද ජයසිංහ මහතා - "කවුද කිව්වේ. තමුසෙලාට මම කිව්වේ නෑ. තොප්පිය හරි නම් දාගන්නවා."

වෙනත් ගුරු සංගමයක නියෝජිතයෙක් - "පාවලා දීලා දැන් අයිං දාන්න එනවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 22:02