March 28, 2024

කැළඹුණු කාළගුණය : මරණ ඉහළ යයි - අනතුරු ඇඟවීම් තවදුරටත් (VIDEO)

November 10, 2021

අයහපත් කාලගුණයෙන් සහ නාය යාම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිස්ත්‍රික්ක 17කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 62,247 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කුරුණෑගල - රිදීගම - කොරොස්ස ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ නාය යාමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් නිවසේ රැදී සිටි අවස්ථාවේදී මෙම නාය යාම සිදුව තිබෙනවා. 

එමෙන්ම ගලිගමුව - හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් ද නාය යාමකට ලක්වූ අතර එහිදී නිවසේ සිටි මව, පියා සහ පුතු අනතුරට ලක්වුණා.

ඉන් මව බේරා ගැනීමට යුද හමුදාව සමත් වූ අතර, පියා සහ පුතු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආපදාවලට ලක්වන ප්‍රදේශවල නාය යාමේ ස්ථාන 115ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ. එමෙන්ම, මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාය යාම් රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. 

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ පොලීසිය සහ අධිකරණය එක්ව එම පුද්ගලයින් නාය යාමේ අනතුරු ඇගවීමේ ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවල කඳු නැගීම් සහ වනාන්තරවල සංචාරය සිදුකිරීමට ගොස් අතරමං වන පුද්ගලයින් බේරා ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි.

මේ අතර, ජල පහරට හසුවීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කුරුණෑගල - උඩුබද්දාව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටි පියෙකු සහ පුත්‍රයෙකු පරණගම ඔයේ සැඬ පහරට හසුව ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, කුලියාපිටිය - කනදුල්ල, ප්‍රදේශයේ දී ද සැඬ පහරට හසුවී පුද්ගලයෙකු මිය ගියේ සැඬ පහරට හසුව ආ පොල් එක්රැස් කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි.

මේ අතර, කලාවැවේ ජල මට්ටම උපරිම ධාරිතාවට පැමිණීම හේතුවෙන් අද (10) පෙරවරුවේ එහි හදිසි වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කර තිබෙනවා. 

එමෙන්ම, දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු කිහිපයක් අද විවෘත කෙරුණා.

මේ අතර, හලාවත - කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී තිබෙනවා.

තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, මීගමුව - පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල - ගොඩවල මං සන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා.

ඊට අමතරව මහඔය පිටාර ගැලීමෙන් මන්නාරම - මඩු ප්‍රදේශයේ සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එමෙන්ම ගිරිඋල්ල ප්‍රදේශයේ ද පහත් බිම් කිහිපයක් තවමත් ජලයෙන් යට වී ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (10) පෙරවරුවේ සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (10) දින සිට විවෘත කල බවත්, තවදුරටත් වැසි එලෙසම පැවතියහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.

මේ අතර මන්නාරම් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්වයන් හේතුවෙන් මෙවර මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු අක්කර 5700 ක් සම්පූර්ණයෙන්ම විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බවට මන්නාරම් දිස්ත්‍රීක් දිසාපතිනි ස්ටෑන්ලිද මෙල් මහත්මිය පැවසුවා.

එමෙන්ම බොහෝ කුඹුරුවල ගොයම් ගංවතුර හේතුවෙන් ගසාගෙන ගොස් ඇති අතරම කුඹුරු සියල්ලක්ම ජලයෙන් යටවීම හේතුවෙන් ගොවිතැන් කොට ඇති සියලු කුඹුරුවල ගොයම් කුණුවීමේ දැඩි අවධානමක් පවතින බවටද මන්නාරම් දිසාපතිනය වැඩිදුරටත් පැවසුවා.

උතුරු පලාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 11,131 කට අයත් පුද්ගලයින් 38,081 ක් පීඩාවන්ට පත්ව ඇති බව දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාල පවසයි. 

යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 7584 කට අයත් පුද්ගලයින් 25,508 ක් පීඩාවන්ට පත්ව ඇති අතරම යාපනයේ පුද්ගලයින් 463 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවල රැඳී අති අතර ඔවුන්ගේ නිවාස 75 කට හානි සිදුවී ඇති බවට යාපනය ආපදාකලමනාකරන කාර්යාලය පැවසුවා.

එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කයේ පුද්ගලියන් 3501 කට අයත් පුද්ගලයින් 12,350 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම මන්නාරමේ පුද්ගලිය්න 105 දෙනෙකු ආරක්ෂිත කඳවුරුවල රැඳී ඇති බවටද මන්නාරම් දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පවසනවා.

තවද කිලිනොච්චියේ පවුල් 43 කට අයත් පුද්ගලයින් 145 ක් සහ මුලතිව්හි පවුල් 02කට අයත් පුද්ගලයින් 11 දෙනෙකුද වව්නියාවේ පවුල් එකකට අයත් පුද්ගලයින් 04 දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටිනවා.

එහිදී මන්නාරම, තලෙයිමන්නාරම, පේසාලෙයි, නානාට්ටාන්, මන්තෙයි බටහිර, තාල්වුපාඩු, ශාන්තිපුරම්, සවුත්බාර් යන ප්‍රදේශයන් සහ යාපනය, සංගානෙයි, මරදන්කේනි, කයිට්ස්, උඩුවිල් , චාවකච්චේරි, උර්කාවත්තුරෙයි, කරවෙඩ්ඩි, වේලනෙයි, සහ ඩෙල්ෆ් යන ප්‍රදේශයන් වෙතට අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිව තිබෙනවා.

එමෙන්ම මේ වන විට උතුරේ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් රැඳී සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇතැයිද ආපදා කලමනාකරන නිලධාරීන් පැවසුවා.

මේ අතර වර්ෂාව හේතුවෙන් උතුරු පලාතේ පිහිටි වැව් සියල්ලක්ම වාන් දැමීමද ආසන්න තිබෙන හෙයින් පහත්බිම් වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගමන්කරන ලෙසටත් දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 189 වාර්තා වී ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයෙන්. 

එමෙන්ම, කුරුණෑගල - දොඩම්ගස්ලන්ද ප්‍රදේශයට මිලිමීටර් 147ක්, දුම්මලසූරිය ප්‍රදේශයට මිලිමීටර් 133ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර යාපනය - තෙලිප්පලේ ප්‍රදේශයට 126.4ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 16:11