April 20, 2024

පාසල් ආශ්‍රිතව වෛරස අවදානමක්! දෙමාපියන්ටත් පණිවිඩයක්!

November 09, 2021

දිවයින පුරා පාසල් කිහිපයක් ආශ්‍රිතව කොවිඩ් 19 වෛරසය පැතිරයන බව වාර්තා වෙනවා.

පාසල් ළමුන් සහ ගුරුවරුන් අතර මෙලෙස වෛරසය පැතිර යන බව සඳහන්.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 22 දෙනෙකුට සහ ගුරුවරුන් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව මේවන විට තහවුරු වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසන්නේ පාසල්  විවෘත කළ  දිනයේ සිට මේ දක්වා කාලය තුල මෙම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට කොවිඩි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව යි.

මෙම ආසාදිතයින් අතර බෙන්තොට ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන  ළමුන් 17 දෙනෙකු ද සිටින බව වාර්තා වෙනවා.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශය ආශ්‍රිතව ද කොවිඩ් වෛරසය සීග්‍ර ලෙස පැතිර යමින් පවතින බව එම ප්‍රදේශයෙන් ලැබෙන පුවත් වාර්තා පෙන්වා දෙනවා.

දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග පැවසූවේ එකම පාසලක සිසුන් 11ක්, දෙමව්පියන් 10 ක් ආසාදනය වී ඇති බව යි.

තවත් ආසාදිතයින් සිටිය හැකි හෙයින් ඔවුන් සොයා PCR පරීක්ෂණ ද සිදු කෙරෙමින් පවතිනවා.

මේ අතර මෙම තත්ත්වය යටතේ ප්‍රාථමික පන්තිවල ඉගෙනුම ලබන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

පාසල තුළ දී ප්‍රාථමික අංශවල ළමුන් නිසි පරිදි මුව ආවරණ පැළඳීම සිදු නොකරන නිසා සහ නිසි පරිදි දුරස්ථබව පවත්වා නොගන්නා නිසා දෙමාපියන් වෙත වැඩි වගකීමක් ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් නොයවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින අතර ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එවන් රෝග ලක්ෂණ ඇති දරුවන්ව වහාම දිස්ත්‍රික් රෝහලකට ගෙන ගොස් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදු කර කොවිඩ් ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගන්නා ලෙස යි.

පන්ති කාමරයක් තුළ එක් කොවිඩ් රෝගී දරුවෙකු සිටියහොත් ඒ හරහා එම පන්තියේ අනික් දරුවන්ට සහ ගුරුවරුන් හට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව තිබෙන බැවින් මේ පිළිබඳව දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. 

තව ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ දරුවා හෝ නිවසේ අයෙකු නිරෝදායනයට ලක් කොට ඇත්නම් එවැනි අවස්ථාවකදී ද දරුවා පාසල් යැවීමෙන් වළකින ලෙස යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 10:16