March 29, 2024

නව ව්‍යවස්ථාව ජනවාරියේ - ඇමැති ජී.එල් මහ නාහිමිවරුන්ට දන්වයි

November 07, 2021

නව ව්‍යවස්ථාව සඳහා වන මූලික කෙටුම්පත එළඹෙන ජනවාරි මාසය වන විට සූදානම් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව එහි වැඩ කටයුතු දෙසතියක පමණ කාලයකදී අවසන් කිරීමට නියමිත බවත් එය රජයට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත යොමු කරන බවත් ඒ මහතා පැවසුවා.

මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (06) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළා.

නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අවශ්‍ය සංශෝධන මොනවාද යන්න සලකා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය ඊට සම්බන්ධ වන බවද හෙතෙම අවධාරණය කළා.

ව්‍යවස්ථාවක් සකස් කරනු ලබන්නේ පරම්පරා ගණනාවක් සඳහා බවත් වත්මන් ව්‍යවස්ථා මෙයට වසර 43 කට පෙර සකස් කළ එකක් බවත් කී මහචාර්යවරයා නව ව්‍යවස්ථා කෙටුම් පත් කිරීමට පෙර සියලු පාර්ශව වල අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා බවද අවධාරණය කළා.

මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති ආදි සියලු අංශ වල දායකත්වය මේ සඳහා ලබා ගන්නා බවද ඒ මහතා පැවසුවා.

විවිධ මත තිබෙන දේශපාලන පක්ෂ එකතු වී සන්ධාන ආණ්ඩුවක් ගොඩ නගන බැවින් ඒ තුළ එක් එක් දේශපාලන පක්ෂ වල මත හා අනන්‍යතාවයන් පිළිඹිබු වන බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඇමැතිවරයා පැවසුවා.

එසේ වුවත් අවසානයේදී ආණ්ඩුවක් ලෙස අවසානයේ සාමුහිකව එක ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් ප්‍රශ්න අභන්තර සාකච්ඡා තුළින් විසඳා ගැනීම වැදගත් බවත් කී ඒ මහතා අවසානයේ සියලු දෙනා එක තැනකට ආ යුුතු බවද අවධාරණය කළා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ යහපාලන ආණ්ඩුව එය පැවැත්වීමට නොහැකි තත්ත්වයකට නීති වෙනස් කිරීම නිසා බවත් පැවසුවා.

මෙරට මැතිවරණ ක්‍රමය අදට ගැලපෙන ලෙස සංශෝධනය කළ යුතු බවත් ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවක් පත්කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළා.

(මහනුවර -  කේ .එල්. සුරවීර)                                                   

 

Rate this item
(0 votes)