April 20, 2024

100ට හාල් දෙන්න මෝල් හිමියන්ගෙන් කොන්දේසියක්

November 06, 2021

රුපියල් 50ට අඩුවෙන් වී මිලදී ගත හැකි වැඩපිලිවෙලක් සකස් කරන්නේ නම් තමන්ට රුපියල් 100ට සහල් නිකුත් කළ හැකි බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම්, මුදිත් පෙරේරා මහතා කියා සිටියේ සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගත් තීරණය තුලින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි.

ප්‍රමුඛ අත්‍යාවශ්‍ය භාණ්ඩ වන සහල් සහ සීනි සතොසින් මිලදී ගැනීම සඳහා එම භාණ්ඩ දෙක සමඟ තවත් භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළා.

ඒ සඳහා පාරිභෝගික ජනතාවගෙන් ඊට එල්ල වුණේ දැඩි විරෝධයක්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කළේ බඩු මිලදී ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින් සඳහා කොන්දේසි දැමීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි.

"රාජ්‍ය ආයතනයකට ගියාම ඒ ආයතනය කියනවා නම් වෙළඳාම කරන්න පුළුවන් වෙන්නේ මේ භාණ්ඩ ගත්තොත් පමණයි තමන්ට අවශ්‍ය භාණ්ඩය ලබා දෙන්නේ කියලා ඒක සම්පුර්ණ වැරදි ක්‍රියාවක්. ඒක නීතියට පටහැනි ක්‍රියාවක්. පාරිභෝගික ආරක්ෂණ පනතේ 11 වැනි වගන්තියේ පැහැදිලිවම සඳහන් වෙනවා වෙළඳ ආයතනය ඒ භාණ්ඩ තමන් සතුව තියෙනවා නම් ඒ අය එන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට එය ලබා දිය යුතුයි. ඒ අය‍ට කියන්න බැහැ ඒක දෙන්න බැහැ ආයතනයේ තවත් අවශ්‍ය භාණ්ඩ ලබා ගත්තොත් පමණයි ඒක දෙන්න පුළුවන් කියන එක කිසිසේත් කියන්න බැහැ. ඒක නීතියට පටහැනි දෙයක්. ඒකට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. එවැනි තත්වයක් උද්ගත වෙලා තියෙනවා නම් පාරිභෝගිකයා කළ යුතු වන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට පාරිභෝගික අධිකාරිය ඒ ස්ථානයට ගිහිල්ලා ඒ පිලිබඳ සොයා බලා ඒ අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ එවැනි ආකාරයට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුනට දැඩි ලෙස අවවාද කරලා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා."

මේ අතර, සහල් ආනයනය කිරිමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් තම සහල් නිෂ්පාදන කර්මාන්තය මුළුමනින්ම විනාශ විය හැකි බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා කියා සිටියා.

නව ගැසට් නිවේදනය නිකුත් කරමින් පසුගිය 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 8 ක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගත්තේ.

ගෑස් හා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ද එම අධිකාරිය මීට පෙර කටයුතු කළා.

මේ අතර, කරවල මිල ගණන් ද තවදුරටත් ඉහළ යා හැකි බව පිටකොටුව කරවල වෙළඳ සංගමයේ සභාපති ආර්.ජී.විල්සන් මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)