April 20, 2024

විදුලිබල සටනත් දැඩි වෙයි

November 03, 2021

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට වෘත්තීය අද (03) විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

ලංකා විදුලි බල මණ්ඩලයේ සමස්ත සේවකයින්ගේම සහය ඊට ලැබී තිබුණු අතර වරාය සහ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලද සහය ලැබී තිබුණා.

අද පැවැත්වීමට නියමිත ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන සේවක විරෝධතාවය හේතුවෙන් විදුලි, ජල කප්පාදුවක් සිදු වන බවට සමාජයේ මතයක් පැතිර ගියා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ දින දිගු පෝලිම් දක්නට ලැබුණා. එහෙත් අද මෙම උද්ඝෝෂණය තිබුණද කිසිම ප්‍රදේශයක විදුලි බිඳ වැටීමක් හෝ ජල කප්පාදුවක් සිදු වූ බව වාර්තා වුණේ නැහැ. 

කෙසේවෙතත් මෙම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අවධාරණය කර සිටියා. 

දැනටමත් අයියයි මල්ලියි එකතු වී විදුලි බල මණ්ඩලය සහ බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාවට විකුණා ඇත්දැයි යන සැකය පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද (03) එම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

එම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ එකා පිට එකා මැරුණත් මේ අරගලය ජයග්‍රහණයෙන් කෙලවර කරන බවයි.

ගමක තිබෙන සුභ සාධක සමිතියක ඇති ප්‍රජාතන්ත්‍රවාදයවත් ආණ්ඩුව තුළ නැති බවයි ඔහු සඳහන් කළේ.

හෙටින් පසු දැවැන්ත ජනතා විරෝධයක් මහපාරට ගෙන එන බවත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරු අධිකරණය හමුවට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කළ බවද ජයලාල් මහතා කියා සිටියා.

මේ අතර වැඩවර්ජනයක් සම්බන්ධයෙන් කතා බහක් පැතිර යමින් තිබෙන අතර කිසියම් හෝ ආකාරයකින් අද විදුලිය විසන්ධි කර එහි වගකීම වෘත්තීය සමිති ප්‍රමුඛ විදුලි සේවකයින් පැවරීමට පාලකයින් උත්සහ දරමින් සිටින බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම ඔවුන් විසින්ම ගත යුතු බවත් ඔහු අධාරණය කළා.

එමෙන්ම වෘත්තීය සමිති සන්ධානය ලෙස ගත් වැඩවර්ජන තීන්දුවට අදාළව හෙට දිනයේදී දින ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කළා.

සබැඳි පුවත් : විදුලි, ජල, තෙල්, වරාය වෘත්තිය සමිති විරෝධයේ! විදුලි විසන්ධියක් - ජල කප්පාදුවක් වෙයිද?

                 විදුලිය ගැන සභාපතිගෙන් සේවකයින්ගෙන් සහතිකයක්! ජල සැපයුමට බාධා?

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 22:01