April 20, 2024

ආහාර හිඟයක් ඇති වන ලකුණු - ඇමති චමල්ගෙන් විසඳුමක්

November 04, 2021

ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පැවැතීම නිසා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

පාන් වෙනුවට මුං ඇට, කවුපි, මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගැනීම සුදුසු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

රටේ ආහාර හිඟයක් ඇති වේ දැයි, පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගන් විමසා සිටියා.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නා.

”හාල් හිඟයක් මන් හිතන්නේ දැනුත් තියෙනවා. කොච්චර කෑගැහුවත්. ඇයි ඉතින් හාල් නැතෙයි කියනවා. හාල් මිල ඉහළ යනවා කියන්නේ හාල් හිඟයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ඒක එහෙම වෙයි කියලා”

තව ද රට තුළ හාල් හිඟ වුවද ගම්වල මඤ්ඤොක්කා මෙන්ම මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගද ඕනෑ තරම් තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ.

”අපිට මේ රටේ හාල් නැති වුණාට ඉස්සර ගම්වල මඤ්ඤොක්කා , මුං ඇට මේ පාර තිස්සමහාරාමේ විශාල මුං ඇට තියෙනවා. අනුරාධපුර පැත්තේ කව්පි. අපි රජය මිලදි ගන්නවා ඒ සියල්ලම.”

මේ අතර මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබෙනවා.

සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 155 දක්වාත්, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 135 දක්වා වැඩිවී ඇති බවත් සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල ද රුපියල් 125 දක්වා වැඩි වී තිබෙනවා.

සහල් කිලෝවක් කීයක් වූ අඩුවෙන් අලෙවි කිරීමට සංගමය උත්සාහ කළ ද පවතින මිල හමුවේ එය කළ නොහැකි බව මරදගහමුල සහල් වෙළෙඳ සංගමයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති රංජිත් කරුණාතිලක මහතා පැවසුවා.

අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් සීයකට ද, නාඩු වී කිලෝවක් රුපියල් අසූවකට අලෙවි වන තත්ත්වයක් තිබියදී සහල් මිල අඩු කළ නොහැකි බව ද ඔහු කියා සිටියා.

ආනයනික සහල් තොග මේ වනවිට සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බවයි.

"ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන්. එක පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99 ගානේ සහල් කිලෝ 5ක් ලබාගන්න පුළුවන්. අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා. ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි."

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 04 November 2021 08:30