March 29, 2024

විදුලි, ජල, තෙල්, වරාය වෘත්තිය සමිති විරෝධයේ! විදුලි විසන්ධියක් - ජල කප්පාදුවක් වෙයිද?

November 03, 2021

අද පැවැත්වීමට නියමිත ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන සේවක විරෝධතාවය හේතුවෙන් විදුලි, ජල කප්පාදුවක් සිදු වන බවට සමාජයේ මතයක් පැතිර යනවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද වරාය, ජල සම්පාදන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති ද විරෝධතාවල නිරත වනවා

මෙම විරෝධතාවයට සහය දක්වමින් වරාය, විදුලිය සහ ජල සම්පාදන එක්ව සිටිනවා. අද දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට එහි සේවකයින් තීරණය කර තිබෙනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද දහවල් විරෝධතාවයේ නිරත වන්නේ කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදියි.

මේ අතර, අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවයි ලංකා ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ.

එමෙන්ම, ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියේ විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි.

මීට සමගාමීව වරාය වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවය කොළඹ වරාය ඉදිරිපිට පිහිටි ඔරලෝසු කනුව අසලදී පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 10:03