April 19, 2024

සමගියේ ප්‍රබලයාගෙන් රනිල්ට ආරාධනාවක්! අලුත් වැඩකට මුල පුරයි

නව රජයක් බිහි කිරීම සදහා තම පක්ෂය සමග එකතු වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකයාටද තමන් ආරාධනය කර සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ආගමික සහජීවනය නැංවීම සදහා සමගි ජනබලවේගය පක්ෂය විසින් ආරම්භ කර ඇති සදහම් යාත්‍රා වැඩ සටහනට සමගාමීව ආගමික නායකයින් බැහැ දැකීමට ආණමඩුවට පැමිණ අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියා.

ආණමඩුව - පල්ලම පිහිටි නන්දමිත්‍ර නව වංගු පුරාණ රාජමහා විහාරස්ථානයට පැමිණි තිස්ස අත්තනායක මහතා, එම විහාරයේ කැණීම් සිදු කර අතර මග නතර කර ඇති ඉපැරණී චෙත්‍යයද නිරීක්ෂණය කළා.

අනතුරුව මාධ්‍ය හමුවේ වැඩිදුරත් අදහස් දැක්වූ සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේද පවසා සිටියා.

“..වර්තමානය වන විට මේ අණ්ඩුව කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියනවා. බඩු මිළ අහස උසට නැගලා ගිහිං.ජනතාවට පොහොර ටික ලබා දෙන්න බැහැ. ඉන්ධන මිළ ඉහළ ගිහිං.ඇත්තටම බස් - කෝච්චි දුවන්නේ නැත්තේ කොරෝනා උවදුර නිසා නෙමෙයි. බස් - කෝච්චි දුවන්න ඉන්ධන නොමැති කම තමයි ඇත්තම හේතුව.

මේ රටේ වැඩි දෙනෙක් කරන්නේ ගොවිතැන. නමුත් අද ආණ්ඩුවට බැරි වෙලා තියනවා ජනතාවට පොහොර ටික දෙන්න. නිකම් නෙමෙයි සල්ලිවලට හරි පොහොර ටික දෙන්න හැකියාවක් නැහැ. මේ සියල්ලටම හේතුව වෙලා තියෙන්නේ අපේ රට තුළ තිබූ ඩොලර් සංචිත පහල වැටීමයි.

රටක් කරනවා කියන්නේ නිකං සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒකට නිවැරදි දැක්මක් තිබිය යුතුයි. අපේ පක්ෂය තුළ තිබෙනවා රට ගොඩ නැගිය හැකි නිවැරදි දැක්මක්. ඒ නිසා තමයි පක්ෂ විශාල ප්‍රමාණයක් අපි සමග එකතු වෙමින් සිටින්නේ. නව රජයක් බිහි කිරීම සදහා එක්සත් ජාතික පාක්ෂිකයින්ට මෙන්ම එම පක්ෂයේ නායකයායටද අපි ආරාධනය කර සිටිනවා.

මේ අපි ඉන්නේ ඉපැරණි පුද බිමක. මේ පුද බිමේ කැණීම් කටයුතු ආරම්භ කරලා අතර මග නවත්වලා දාලා අවුරුදු ගානක් වෙනවා. මෙම ස්ථානය සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි තැනක් බවට පත් කරන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙකුට  ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍යතාවයක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා තමයි අද මේ වාගේ ස්ථාන විනශයට පත් වෙමින් තිබෙන්නේ..”

මෙම අවස්ථාවට සමගි ජනබලවේගය පක්ෂයේ ආණමඩුව ආසනයේ ප්‍රධාන සංවිධායක ගාමිණී වඩිගමංගාව මහතාද, සම සංවිධායකවරුන් කීප දෙනෙකුද සහභාගි වී සිටියා.

(ජූඩ් සමන්ත - පුත්තලම)

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 October 2021 12:06