April 25, 2024

පාප් වහන්සේගේ අත් අකුරින්ම කාදිනල් හිමියන්ට ලිපියක් එවයි! තිබූ කරුණූ ගැනත් හෙළිවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අද (23) ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි සඳහන් කර ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් යොමුකළ ලිපියට පිළිතුරක් ලෙස පාප්වහන්සේ මෙම ලිපිය එවා තිබෙනවා.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය" සංවිධානය කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනි.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව තමන් ශෝකයට පත් වන බවත්, ඒ පිළිබඳව තමන් යාඥා කරන බවත් අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ යොමු කළ එම ලිපියේ සඳහන් ය.

අතුඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සුදුසු යැයි හැඟෙන හොඳම දේ සිදු කරන ලෙසත්, තමා විශ්වාස කරමින් කළ යුතු හොඳම දේ පවසන ලෙසත් එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, අවාසනයේ යුක්තිය ඉටු නොවන තත්ත්වයක් උත්ගතව ඇති බවයි.

”ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සමයේ දී පැවසුවේ ලංකාව, ජනතාවට ආරක්ෂිත රටක් බවට පත් කරනවා කියලා. එතුමා කිව්වා කොමිෂන් සභා වාර්තාවේ සඳහන් ආකාරයට යුක්තිය ඉටු කරන බව, ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් පසුවත් පැවසුවේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා කියලා. බලාපොරොත්තු නොවූ ආකාරයට දින දෙකකට පසුව එතුමා මට දුරකතන ඇමතුමක් ලබා දී කිව්වා. එම වාර්තාව ලැබුණු අතර එහි ඇතැම් සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපහසුයි කියලා. මම එතුමාට කිව්වා ස්වාධීනව මේ පිළිබඳව කවුරු හෝ පත් කර එම නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. එතුමා එය පිළිගත් බවට මට කිව්වා. එය කඩිනමින් සිදු කිරීමටත් එතුමා එකඟ වුණා. ඊට පස්සේ අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරා කළ යුතු සහ නොකළ යුතු දේ සොයා බැලීමට. ඒක මේ ගැටලුම දේශපාලනීකරණය කිරිමක්.දැනට තිබෙන තත්ත්වය අනූව මේ ගැන ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ මේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩාමයට ආදාළ කිහිප දෙනෙකුට පමණයි. අනෙකුත් සියලු නිර්දේශ ක්‍රියාත්මක වෙලා නෑ. කාලෙකදී ඔවුන් කිව්වේ මේ පිටුපස මහ මොළකරුවෙක් සිටිනවා කියලා. පස්සේ ඔවුන් තැත් කළා. මේ වරද ඒ මහමොළකරුට පවරන්න. ඒ නිසා මේක ගොඩක් දේශපාලනීකරණය වුණා. සහ අස්ථාවර භාවයක් ඇති වුණා. ඒ නිසා හැමෝටම දැන් එපා වෙලා තියෙන්නේ. අවාසනයේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ”

Rate this item
(2 votes)

Related items