March 29, 2024

සංචාරයට ආ සුද්දා පැය පහෙන් ආපහු යයි: ගිය වැරැද්දත් සුද්දටම බාර දෙයි

සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබෙන සංචාරක කර්මාන්තය තවත් ප්‍රපාතයට ඇද වැටෙන සිදුවීමක් වාර්තා වනවා.

ඒ මෙරටට සංචාරකයෙක් ලෙස පැමිණි ඇමරිකානුවෙකු සංචාරය අතර මග නතර කර පැය 5කින් යළි මෙරටින් පිට වීම නිසා.

නිකුත් කළ වීඩියෝ පටය

ජෝර්ජ් නමැති මෙම ඇමෙරිකානු සංචාරකයා තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට ශ්‍රී ලංකාවේ දී මුහුණ දීමට සිදු වූ ඛේදජනක තත්ත්වය පිළිබඳව හෙළිදරව් කර තිබෙනවා.

එම වීඩියෝව ඔහු නිකුත් කර ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා.

ඊට දින තුනකට පෙර එනම් 7 වැනිදා තමන් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන්පසුව යාමට හෝටලයක් හෝ රථයක් නොමැතිව ගුවන් තොටුපල අසල හෝටලයක සිටි බව එම වීඩියෝවෙන් සඳහන් කරන ඔහු දින ගණනක් මෙරට සංචාරය කිරීමේ අරමුණ පැත්තක තබා යළි රටින් පිටව ගිය බවයි පෙන්වා දෙන්නේ.

තානාපති කාර්යාලය

තමන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඇමරිකාවේ වොෂින්ටන් නුවර තිබෙන ශ්‍රී ලංකා තානාපති සේවයෙන් විස්තර විමසු බවත් තමා එම තොරතුරු විශ්වාස කර මෙරට පැමිණි බවත් ඔහු තම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.

එහෙත් තවමත් ශ්‍රී ලංකාව විවෘත නොවූ රටක් බව මෙරටට පැමිණි පසු තමාට තේරුම් ගිය බවයි ඔහු අනාවරණය කරන්නේ.

එනිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට දැනුවත් වීම සඳහා නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඔහු සිය වීඩියෝ පටයෙන් මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

නොමඟ යැව්වට ස්තුතියි

ඔහු වීඩියෝ පටය අවසන් කර තිබෙන්නේ "ශ්‍රී ලංකාවට ස්තූතියි මාව නොමඟ යැව්වට" යැයි සඳහන් කරමින්.

අදාල සංචාරකයා මෙරටට පැමිණ තිබෙන්නේ මාලදිවයිනේ සිට.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කොට වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මේ වන විට උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් සංචාරක සංවර්ධන අධිකාරියට.

වාර්තාව ඇමති අතට

ඒ අනුව ඉතා කඩිනමින් එම වාර්තාව ඉකුත් 13 වෙනි දින අමාත්‍යවරයා ලබාදී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉන් වැරැද්ද පැට වී තිබෙන්නේ අදාල සංචාරකයා වෙතටයි.

මෙරට පැමිණ නියමිත දින නොපැමිණි හෙයින් ඔහු වෙනුවෙන් වෙන් කළ මෝටර් රථය නොපැමිණි බවත් , එම මෝටර් රථයේ රියදුරු ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කළ 6 වැනිදා ගුවන් තොටුපල පරිස්‍රයේ රස්තියාදු වූ බවත් වාර්තාවේ සඳහන්.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා වන ෂෙහාන් සුමනසේකර සඳහන් කරන්නේ ඇමරිකානු සංචාරකයා කියන දෑ බොරු බවක් ඔහු සදහන් කරන ප්‍රකාශ නොමග යවන සුළු ප්‍රකාශ බවත්ය.

සංචාරකයින්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ගුවන් තොටුපලේ තිබෙන බවයි විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Rate this item
(20 votes)
Last modified on Monday, 18 October 2021 15:19