April 19, 2024

පරිගණක ක්‍රීඩා ලංකාව තුළ අවහිර කිරීමට යෝජනාවක්

අන්තර්ජාලයෙන් පරිගණක ක්‍රීඩා ලබා ගත නොහැකි වන සේ ඒවා අවහිර කරන ලෙස ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

එම සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය අද (14) දින විදුලි සංදේශ නියාමන කොමිසමට පැමිණ ඒ පිළිබඳව සහ තවත් ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද භාර දෙනු ලැබුවා.

“මාර්ගගත පරිගණක ක‍්‍රීඩා ව්‍යසනයෙන් දරුවන් බේරාගැනීම සදහා වහා මැදිහත්වන්න” යන මැයෙන් මාතෘකාගත කොට ඇති මෙම ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි සභාපතිවරයාට ද යොමු කොට තිබෙනවා.

අදාළ සංවිධානය මෙම ලිපිය මගින් මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව ද ඉදිරිපත් කොට ඇත්තේ දැඩි විවේචනයක්.

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලියේ ඍජු සහ අතුරු අහිතකර ප‍්‍රතිඵල පිළිබඳව විද්වත් මතවාද රටට ඉදිරිපත් කර ඇති බවත් එහෙත් බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමුවී නැති බවත් ඔවුන් පවසනවා.

මාර්ගගත අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ  දීර්ඝ වේලාවක් දරුවන් රැදී සිටිම මගින් ළමුන්ට මානසික සංකූලතා ඇතිවන බවට යි ඔවුන් චෝදනා නගන්නේ.

ඊට අමතරව ‘‘වීඩියෝ ගේම්ස්’’ ලෙස හැදින්වෙන විවිධ විනාශකාරී පරිගණක වැඩසටහන් නිසා බරපතළ අගතියක් දරුවන්ට සිදුවන බව තමන්ට පැහැදිළි බවත් මෑතකාලීනව එවැනි පරිගණක ක‍්‍රිඩා මගින් මානසික පීඩාවට පත්වූ දරුවන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹී ඇති බවත් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය සිය ලිපිය මගින් පවසනවා.

මෙම විනාශකාරී තත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා දෙමාපියන් සහ දරුවන් ඉලක්ක කරගත් අධ්‍යාපන සහ ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කරන ලෙසත් එසේ නොමැතිවුවහොත් මාර්ගගත අධ්‍යාපනයට මුවා වී අන්තර්ජාල මාරයා අප රටේ දරු පරපුර ක‍්‍රමානුකූලව විනාශ මුඛය කරා රැගෙන යනු ඇති බවත් දෙමාපියන් ලෙස මේ විනාශය දෙස තවදුරටත් ඉවසීමෙන් බලාසිටිය නොහැකි බවත් අදාළ ලිපියෙහි සඳහන්ව තිබෙනවා. 

ලක්මව දියණියෝ යනු විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ කාන්තා සංවිධානයක්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 October 2021 20:20