April 19, 2024

ආණ්ඩුවේ පක්ෂ සෙළවෙයි! බුලත් කොළය යළි පුබුදන සැළසුමට පණ එයි!

බුලත් කොළය සළකුණින් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පිහිටුවීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

වත්මන් ආණ්ඩුව සමග සන්ධානගතව සිටින පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවට යි ශ්‍රීලනිප මහලේකම්වරයා අනාවරණය කරන්නේ.

එවන් තත්ත්වයක් මත එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පිහිටුවීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇති බව සඳහන්.

ඇරඹුණු නව මාසයත් සමග එජනිසය ඇරඹීමේ ක්‍රියාකාරකම් දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීම යි දයාසිරි ජයසේකර මහතාගේ අභිප්‍රාය වී ඇත්තේ.

එමෙන්ම මෙය තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ තීරණයක් අනුව සිදුවන්නක් බවට යි ඔහු අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඊට හිතවත් පක්ෂ පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්විය යුතු බවට දයාසිරි ජයසේකර මහතා මීට පෙර ද ඉඟි පළ කළා.

එමෙන්ම පක්ෂය තුළින් ඉල්ලීමක් පැමිණියහොත් තමන් වර්තමානයේ දී දරන තනතුරු අතහැර වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් බව යි ඔහු පවසා සිටියේ.

වයඹ පළාතේ හිටපු මහ ඇමැති ලෙස තමන් විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසා තිබූයේ තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව යි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 October 2021 15:39

Related items