April 20, 2024

කොටි සංවිධානය ගැන බ්‍රිතාන්‍යය තීරණයක් ගනී

September 03, 2021

එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය සඳහා මහ බ්‍රිතාන්‍ය තුළ පනවා ඇති තහනම අඛණ්ඩය පවත්වා ගෙන යෑමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති බවට එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා උපුටා දක්වමින් විදේශ අමාත්‍යංශය පවසා සිටිනවා.

විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටි අතර මෙම තහනම පිළිබඳව ශ්‍රී ලංකා රජයද දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

එක්සත් රාජධානියේ කොටි සංවිධානය තහනම් කිරීම

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරිය තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා රජය දැනුවත් කොට ඇත

තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ (POAC) තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරියගේ මෙම තීරණය මඟින්, එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතී.

මෙම රටවල කොටි සංවිධානය මුලින්ම තහනම් කරන ලද්දේ, සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් මෙම කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙනි. 

එල්ටීටීඊ තහනම ලොව පුරා අඛණ්ඩව රඳවා තබා ගැනීම, එහි ජාත්‍යන්තර ජාලය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, ප්‍රචණ්ඩ අන්තවාදය කරා තරුණයින් රැඩිකල්කරණය කිරීම සහ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සහ ඔවුන් ක්‍රියාශීලීව සිටින සෑම රටකම සාමූහික ජීවිතය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන එම කණ්ඩායමේ අවශේෂ කොටස් විසින් එල්ල කෙරෙන අඛණ්ඩ තර්ජනය හඳුනා ගැනීමකි.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, එක්සත් රාජධානිය සහ සියලු රජයන් සමඟ පවතින හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය අගය කරන අතර, පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එක්සත් රාජධානිය සමඟ කටයුතු කිරීම සඳහා කැපවී සිටී.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 2 වැනි දින

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 08:43