April 23, 2024

ජී.එල් පීරිස් විදේශ ඇමැතිකමේ වැඩ අල්ලයි

අභිනවයෙන් පත් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (18) දින අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගෙන තිබෙනවා. 

මේ අවස්ථාවට, නික්ම යන විදේශ කටයුතු අමාත්‍ය සහ නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වී තිබෙනවා.

බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මෙම අවස්ථාවේ දී ආශීර්වාද කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන් අනතුරුව, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ නික්ම යන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය හමු වූ අතර උත්සව සභාව ඇමතූ මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පැවසුවේ වසර හයකට පසු නැවත මෙම අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

ගතවූ වසර දෙක තුළ දී විදේශ අමාත්‍යාංශයට ලබා දුන් නායකත්වය වෙනුවෙන් නික්ම යන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව අගය කළ ජී.එල්. පීරිස් අමාත්‍යවරයා, විදේශ අමාත්‍යාංශයේ සියලු කටයුතුවල දී, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ආවේනික ආත්ම ගෞරවය හා කීර්තිය අනතුරට පත් නොවන බවට සහතික වූ බව කියා සිටියා.

Rate this item
(0 votes)