April 24, 2024

"රජය කළ යුත්තේ මේකයි" - ආදිවාසී නායක වන්නියලැත්තෝ උපදෙස් දෙයි

කොරෝනා වසංගතය හේතුවෙන් උද්ගතව තිබෙන අර්බුදකාරී අවස්ථාවේ පිළියමක් වශයෙන් රට වසන්නැයි සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් මේ අවස්ථාවේ රජය කළ යුත්තේ එම ඉල්ලීමට ඇහුම්කන් දෙමින් යම්කිසි කාලසීමාවකට හෝ රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසනවා. 

මහනුවර ඇසළ පෙරහැර මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහැර දින පෙර රජ දවස සිට සාම්ප්‍රදායිකව සිදුකෙරෙන මී පැණි පූජාව සඳහා සහභාගී වීමෙන් අනතුරුව ආදිවාසී නායකයා අද (18) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සඳහන් කළා. 

ස්වභාවධර්මයෙන් දීපු දඬුවමක්                                                                                  

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ආදිවාසී නායකයා මෙසේද සඳහන් කළා, 

"මේක ස්වභාවධර්මයෙන් ලෝකයටම දීලා තියෙන දඬුවමක්, මේ වසංගතයට ජාති, ආගම්, පාට, පක්ෂ භේදයක් නෑ. ලෝකයේ ඕනෑම බලවත් රටක ඉහළම පුද්ගලයාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ රෝගයේ අවදානමට අද ලක් වෙලා ඉන්නවා. අපේ ආදිවාසී පරම්පරාවේ පිරිසකටත් රෝගය වැලඳිලා කියලා අපට දැනගන්නට ලැබී තිබෙනවා. මේ කාලයට අපේ අයට කැස්ස උණ වැනි රෝග හැදෙනවා. ඒ අයට හැදිලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් හැදෙන රෝග තත්ත්වය ද එසේ නැත්නම් කොරෝනා රෝගය ද කියලා අපට තවමත් නිශ්චිත නෑ.

තනිවම පාලනය කරන්න බෑ

රජයට, සෞඛ්‍ය අංශ හෝ ආරක්ෂක අංශ වලට මේ වසංගත රෝගය තනිවම පාලනය කරන්න බෑ. රටේ ජනතාව විනයගරුකව සෞඛ්‍ය නීති රීති වලට ගරු කරලා ඊට අනුගත වෙලා කටයුතු කළොත් තමයි මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කරන්න පුළුවන්. අපි දැක්කා රජයෙන් නීති පනවන්න ඉස්සරවෙලා පවතින අවදානම් තත්වය තේරුම් අරගෙන බොහෝ නගරවල ව්‍යාපාරිකයෝ ස්වයං වාරණයකට එළඹිලා තම ව්‍යාපාර වසා දැමීමට තීරණය කොට ඇති ආකාරය. මේක ඉතාමත් හොඳ ප්‍රවනතාවක්. රජයට හෝ වෙනත් අංශවලට දොස් කිය කියා ඉන්නවාට වඩා තමන්ම තත්වය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒක ඉතාමත් හොඳයි." 

"වෙනත් අවුරුදු වල නම් මේ මීපැණි පූජාවට අපේ පරම්පරාවේ සීයක් විතර සහභාගි වෙනවා. නමුත් අද රටේ පවතින තත්වය හේතුවෙන් අපි අද දහදෙනෙක් විතර කණ්ඩායමක් විතරයි මේ පූජාවට ආවේ. මේ ආපු සියලුදෙනාම එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. මොන වසංගත ආවත් පැරණි චාරිත්‍ර අප ඒ ආකාරයෙන්ම ඉටු කළ යුතුයි" යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.                                                                    

මෙම අවස්ථාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූ අතර චාරිත්‍රානුකූලව ආදිවාසී ජනයා වෙත ත්‍යාග බෝග ලබා දීම සිදු කෙරුණා.

මහනුවර - කේ.එල්. සුරවීර

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 August 2021 14:02

Related items