April 20, 2024

මහරගම ඕ.අයි.සී ගේ ඇඟිලිවලට වුණු දේ ගැන තැන්නේ හිමි කියයි

පසුගිය 02 වැනිදා පැවැති උද්ඝෝෂණයෙන් පසුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු නිවෙස්වල සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට එම සංගමය විසින් ඊයේ (04) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටිනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සාමාජිකයන් හට පොලිස් රාජකාරියට බාධා කිරීම සහ පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා එල්ල කර ඇති බවද ඔවුන් අවධාරණය කර සිටියා.

මෙම සිදුවීමට සම්බන්ධ කරමින් මහරගම ස්ථානාධිපතිවරයා තුවාල ලැබීමේ නාටකයෙකුත් නිර්මාණය කර ඇති බවද එම සංගමය විසින් මාධ්‍ය ඉදිරියේ පවසා සිටියා.

මාධ්‍ය හමුවට එක්වෙමින් තැන්නේ ඥාණානන්ද හිමියන් විසින් මහරගම ස්ථානාධිපතිවරයාගේ ඇඟිලිවලට සිදුවූ දෙය පිළිබඳව අනාවරණයක් ද කළා. එහිදී උන්වහන්සේ පවසා සිටියේ උද්ඝෝෂණය අවසන් වී පැමිණෙන විටත් ස්ථානාධිපතිවරයා හොඳින්, නිරෝගීව සිටි බවයි.

උද්ඝෝෂණය අවස්ථාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් රොකට් ලොන්චර්, මල්ටි බැරල් අරගෙන ගිය බවත් ඒවා භාවිතය පිළිබඳව වූ නොපුහුණුකම නිසා මෙම හානිය සිදුවී ඇති බවත් තැන්නේ ඥාණානන්ද හිමියන් විසින් පවසා සිටියා.

පොලිස් ස්ථානධිපතිවරයා හට නිදුක් නිරෝගී සුවය මුලින්ම ප්‍රාර්ථනා කරන බවත්, ඉක්මණින් සුවය ලබා පැමිණ මාධ්‍ය ඉදිරියේ දී තුවාල සිදුවුණු තැන් පෙන්වා අදාළ ඉදිරිපත් කිරීම හොඳින් කරන ලෙසද බොහෝම ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් තැන්නේ ඥාණානන්ද හිමියන් පවසා සිටියා.

කොතලාවල පනතට එරෙහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ පැවැත්වූ විරෝධතාවයක් අතරතුරු මහරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම් ජනකාන්ත මහතාගේ අතේ ඇඟිලි දෙකකට බරපතළ තුවාල සිදුව තිබුණා.

බරපතළ තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළත් පසුව ඔහුව ශල්‍ය කර්මයක් සඳහා තලවතුගොඩ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා. එහිදී ඒ මහතා හට පැය 03ක පමණ ශල්‍ය කර්මයක් ද සිදු කර තිබෙන වාර්තා සඳහන් වන්නේ.

Rate this item
(0 votes)