April 19, 2024

කෝටි ගාණක තවත් මැණික් පොකුරක් හමුවෙයි - හිමිකරු දේශපාලනඥයෙක්

ලොව විශාලතම නිල් මැණික් පොකුර රත්නපුර ප්‍රදේශයෙන් හමුව ඇති බවට මේවන විට ජාතික මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල පවා කතාබහට ලක්වනවා.

එවන් පසුබිමක තවත් නිල් මැණික් පොකුරක් පිළිබඳ පුවතක් අප වෙත වාර්තා වී තිබෙනවා.

එහි බර කිලෝ ග්‍රෑම් 80ක් පමණ බව සඳහන්.

එමෙන්ම මෙහි හිමිකරු වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන අර්ල් ගුණසේකර මහතා යි.

රත්නපුර, රක්වාන ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පතලකින් මෙය හමුව ඇති බවට යි වාර්තා වන්නේ.

ඒ මීට වසර කිහිපයකට ඉහත දී.

එලෙස සොයාගත් මෙම මැණික් පොකුර ආරක්ෂිතව සහ රහසිගතව තම සේප්පුවක තැන්පත් කර තැබීමට යි ගුණසේකර මහතා කටයුතු කර ඇත්තේ.

“එක අතකින් මම බයවුණා මේක වෙළඳපොලට යවන්න. අනිත් එක මේක ගෙනියන්න අවසර ලැබෙන්නෙ නෑ වගේ ප්‍රශ්ණ වගයක් තිබුණා. මේක වෙළඳපොලට ගෙනිහිල්ලා, කවුරුහරි කේවල කරලා තුට්ටු දෙකට දෙන්න මම කිසිසේත්ම එකඟ වෙලා හිටියේ නැති නිසා තමයි මම මේක වසර ගණනාවක් හංගගෙන අරං තියලා තිබ්බේ කාටවත් නොකියා”

අර්ල් ගුණසේකර මහතා සිය මැණික් පොකුර ගැන එලෙස අදහස් පළ කරනවා.

එලෙස සඟවාගෙන සිටි මැණික් පොකුර පිළිබඳව පසුගිය දා ඔහු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ මැණික් හා ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද අර්ල් ගුණසේකර මහතා හමු වූවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම මැණික් පොකුර එහි දී නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එම අවස්ථාවට එක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.

“මේ වගේ ගල් කෑල්ල කෑල්ල කපලා අරගෙන ස්වර්ණාභරණවලට පළඳින වර්ගයේ ගලක් නෙවෙයි. මේකත් කොරන්ඩම් ෆැමිලි එකේ සෆායර් එකක්. කෞතුක වස්තුවක් හැටියට වටිනාකමක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කොරන්ඩම් ෆැමිලි එකේ ගල් මෙහෙම විශාල ගෙඩි වගේ හම්බවෙන්නෙ ලංකාවේ විතරයි”

අද අනාවරණය වූ මෙම මැණික් පොකුර තවමත් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කොට නැහැ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් එය සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එම පිරිසිදු කිරීමේ කටයුතුවලින් අනතුරුව එය ලබන නොවැම්බරයේ චීනයේ පැවැත්වීමට නියමිත වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම මැණික් පොකුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත අද දින රැගෙන යනු ලැබුවා.

මෙය වෙන්දේසි කොට හොඳ මිලක් ලබා දෙන බවට එම අධිකාරිය එකඟ වූ බව යි අර්ල් ගුණසේකර මහතා ද පවසා සිටියේ.

තමන් මෙයට ඩොලර් මිලියන 50ක වත් මිලක් බලාපොරොත්තුවන බව ද ගුණසේකර මහතා අවධාරණය කළා.

මේ අතර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙවැන්නක මිල තීරණය වන්නේ අදාළ වෙන්දේසියේ දී එය ගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයා ඉල්ලන මිලට අනුව බව යි.

එමෙන්ම මෙවන් පාෂාණයන් හිමි තවත් පුද්ගලයින් ඇත්නම් ඒ පිළිබඳව තම අධිකාරියට දැනුම් දෙන ලෙසට ද ඔහු ඉල්ලා සිටිනවා.

එවැනි දෑ තවත් ඇත්නම් විදෙස් වෙන්දේසිවලට ඉදිරිපත් කොට ඉහළ මිලක් ලබාගෙන රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගත හැකි බව යි ඔහු පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 20:18