April 18, 2024

ගොවියාගේ ඉල්ලීමට ඇමති මහින්දානන්දගෙන් අමුතු පිළිතුරක්

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගොවීන් තවදුරටත් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. ඔවුන් ඉල්ලා සිටින්නේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

වී හා එළවළු වගාවන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ ගොවීන් මස්පන්න නගරයට පැමිණ විරෝධතාවක නිරත වුණා. පසුව ඔවුන් වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සකස් කල ලිපියක් මස්පන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරීවරයා ට බාරදුන්නා.

මේ අතර වගා හානිවලට වන්දි ඉල්ලා පඹන ගල්ගමුව මීගලෑව , බණ්ඩාරගම ප්‍රදේශයේ ගොවීන් විරෝධතා පා ගමනින් සිය කුඹුරුවලට පැමිණ එහිදී විරෝධතාවක නිරත වුණා. මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි.

මේ බෝගහ කුඹුර ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත ප්‍රදීප් ගජසිංහ මහතායි. ඔහු මේ වන විට බෝංචි කාබනික පොහොර යොදාගනිමින් බෝංචි වගාවක් ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යනවා.

යල කන්නය සඳහා ගලෙන්බිදුණුවැව මොරකන්දාගම ප්‍රදේශයේ වගා කළ උදු වගාවට කොළ කහවීමේ රෝගයක් වැලඳීම නිසා වගාවන් විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නගනවා.

එමෙන්ම වර්ෂාව නොමැතිව වගා කටයුතු කිරීම නිසාද එම ගොවීන් පත්ව ඇත්තේ දැඩි තත්ත්වයකටයි.

කාබනික පොහොර සහ කාබනික කෘමි නාශක භාවිත කරමින් කුඹුරක් අස්වැද්දීමට හලාවත - ආරච්චිකට්ටුව, කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාමාධිපති පුජ්‍ය නවදන්කුලමේ මේධානන්ද හිමියන් සමත් වී තිබෙනවා.

එම විහාරස්ථානය වටා කුඹුරු යායක් ඇතත් එය වගා කෙරෙන්නේ රසායනික පොහොර සහ කෘමි නාශක භාවිත කරමින්.

ඒ අනුව විහාරස්ථාන භූමියේ ඇති ප්‍රයෝජනයට නොගන්නා භූමියක් කුඹුරක් ලෙස සකස් කර එය අස්වැද්දීමට විහාරාධිපති හිමියන් කටයුතු කර තිබෙනවා.

මහවැලි කාබනික වගා ප්‍රවර්ධන සතියට සමගාමීව මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් වැඩසටහනක් නිරීක්ෂණයට මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම මහතා පැමිණියා.

මේ අතර වෙරළ සංරක්ෂන හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා කෙරවලපිටිය කසල කලමනාකරන අංගනයේ අද නිරීක්ෂණයක නිරත වුණා.

මෙමගින් දෛනිකව කාබනික පොහොර ටොන් 15ක් නිෂ්පාදනය කෙරෙනවා. 

ඉදිරියේදී පොහොර ටොන් 50ක් පමණ නිෂ්පාදනය කිරීමට බලා පොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

කන්තලේ අක්කර 500 යාය, වෙන්ඩ්‍රාසන්පුර ගම්මානයේ ගොවි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පැමිණියා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවා.

"දැන් බලන්න පොහොර නැහැ කියලා මහ ලොකුවට ගොවියෝ පාරට දැම්මා. ජේ.වී.පී කාරයෝ ඇවිල්ලා උද්ඝෝෂණ තියලා මේක පාරට දැම්මා ගොවියෝ. අපි දෙන්නා ගිහිල්ලා බැලුවහම ගබඩාවේ මෙට්‍රික් ටොන් ලක්ෂ එක හමාරක්. බැනලා එළියට දැම්මා. කපිල මන්ත්‍රීතුමා මට කතා කළා. මම ඒ වෙලාවේම පොහොර ටික එව්වා සභාපතිතුමාට කියලා. ඒ නිසා පොහොර හිඟයක් නැහැ මේ කන්නයේ. මේ ඔක්කොම බොරු. එතකොට මේ රසායනික මාෆියා එක ලංකාවේ බිලියන 100ක බිස්නස් එකක්. මේකට බිලියන 100ක් ලංකාව වියදම් කරනවා පුතා. එතකොට මේ බිලියන 100 මෙතෙක් කල් පිටරටට ගියපු එක ලංකාවේ ගොවියන්ට දෙන්න තමයි ජනාධිපතිතුමා මේ උත්සාහ කරන්නේ. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී කිව්වේ අපි තනිකර කාබනික කෘෂිකර්මයට යනවා කියලා. දැන් ජේ.වී.පී කාරයෝ ඔක්කොම පාරට බැහැලා කියනවා නෑ රසායනික පොහොර ඕනෙලු. ජේ.වී.පී කාරයන්ට සල්ලි දීලා තියෙනවා රසායනික පොහොරකාරයෝ. ඉතින් ඒ වෙනුවෙන් ජේ.වී.පී කාරයෝ බෝඩ් අල්ලනවා. ඒ නිසා ආණ්ඩුව තීන්දුවක් අරගෙන තියෙනවා. මේ තීන්දුව අපි වෙනස් කරන්නේ නැහැ."

එහිදී ගොවි මහතෙකු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙසේ පැවසුවා.

"අනේ මේ සර්. ගොවියෙක් වශයෙන් මම මේ ඉල්ලන්නේ. තව රුපියල් 2ක් හරි අපිට වී කිලෝවකට හදලා දෙන්න."

එහිදී අමාත්‍යවරයා එම ගොවිමහතාගේ කනට කොදුරමින් එම ස්ථානයෙන් නික්ම ගියා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 29 July 2021 16:05