October 10, 2024

ගල් කුඩු දුමාරය සැප රියේ රියදුරු එලොව යවයි (PHOTOS)

දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ උණපඳුරුයාය ප්‍රදේශයේදී ඊයේ (28) පස්වරුවේ ජීප් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන කුඹුක් ගසක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා.

බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් කිරීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින අතර එහි මාර්ගයේ වාහන ගමන් කරද්දී අධික දූවිලි සහ ගල් කුඩු නිසා මාර්ගය නොපෙනී යාම මෙන්ම ඉදිකිරීම් අඩක් නිම කොට ඇති ප්‍රධාන මාර්ගයේ පැමිණීමත් සමග එකවරම විශාල ගල් අතුරා ඇති කොටසේ මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කැප්පිටිපොල දැව සංස්ථාවෙහි ආරක්ෂක අංශයේ සේවය කරන එම්.ජී.ලසිත් සඳරුවන් තිස් නව හැවිරිදි අයෙකු බව පොලිසිය පවසනවා.

තුවාල ලබා ඇත්තේ කැප්පෙටිපොළ ප්‍රදේශයේ පාසැලක ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරයෙකු සහ අධ්‍යාපන කාර්ය සහායකයකු බව ද එම සැප රිය එම කාර්යාල සහායකයාට අයත් එකක් බව දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එල්.ඒ.හරිස්චන්ද්‍ර මහතා පැවසුවා.

අනතුරට පත් සැප රිය කැප්පෙට්පෙටිපොළ ප්‍රදේශයේ සිට කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටින බව පොලිසිය පවසන්නේ.

මෙම බකමූණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මාස ගණනාවක් සිට ඉදිකිරීම් කටයුතු ක්‍රමවත් නොවීම නිසා  ප්‍රදේශවාසීහු මෙන්ම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙක් දැඩි දුෂ්කරතාවයන් වලට මෙන්ම අනතුරුවලට පත් වූ අවස්ථා රැසක් පවතින බව  ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

මෙම මාරක රිය අනතුරුට හේතුව ප්‍රදේශයේ නොදන්නා පුද්ගලයන් මාර්ගයේ වේගයෙන් ගමන් කරද්දී දුහුවිලි සහ ගල් කුඩුවලින් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී යාමත් සමග මාර්ගයේ අතුරා ඇති විශාල කළු ගල් කැබලි වලින් වාහනය ඉවතට පැන අනතුරට පත් වන බවත් ප්‍රදේශවාසීහු පවසනවා.

මියගිය පුද්ගලයා බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව රාත්‍රියේ මිය ගොස් තිබෙන බවත් අනතුරටට පත් ගුරුවරයා සහ අධ්‍යාපන කාර්යල සහයකවරයාද බරපතල  තුවාල ලබා මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දඹුල්ල පොලිසිය පවසනවා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

 

Rate this item
(0 votes)