April 25, 2024

රෝහලේදී රිෂාඩ්ට සුර සැප: අනිකුත් රෝගීන් පුටු උඩ

රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදුදීන් මහතාට ජාතික රෝහලේ සිටිද්දී අනිකුත් රෝගීන්ටද බාධා වන අයුරින් පූර්ණ පහසුකම් සපයා දී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

බදුදීන් මහතාව ඇතුළත් කර තිබුණේ සාමාන්‍ය වාට්ටුවකට වන අතර ඔහු සිටි ඇද අසල තිබූ සියලුම ඇඳන් කිසිම රෝගියෙකුට ලබා නොදී හිස්ව තැබූ බවයි එම ආරංචි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඇඳන් නැතුව රෝගීන් පුටු උඩ

එනිසා එම වාට්ටුවට ඇතුළත් වූ රෝගීන්ට ඇදන් නොමැතිව පුටු උඩට වී සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

නිරතුරුවම බදුදීන් මහතා මුණ ගැසීම සඳහා අමුත්තන් පැමිණ ඇති අතර ඔවුන්ව ආරක්ෂක අංශයක් විසින් පරීක්ෂා කොට බදුදීන් මහතා මුණ ගැසීමට අවස්ථාව ලබාදී ඇති බවත් වාර්තා වනවා.

මන්ත්‍රී වරප්‍රසාද

බදුදීන් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වරප්‍රසාද හිමිව ඇති මුත් ඔහු සිටින්නේ අධිකරණයෙන් නියෝග මත අපරාධ විමර්ෂණ දෙපාර්මේන්තුවේ රැඳවුම් භාරයේ සැකකරුවෙකු ලෙසයි.

එනිසා මෙම වරප්‍රසාද බදුදීන් මහතාට ලැබුණේ කෙසේද කෙසේද යන්න ප්‍රශ්නයක්.

බෙහෙත් වැසිකිළියෙන් එලියට

තමාව ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් ලබාදෙන බෙහෙත් වර්ජනය කරමින් බදුදීන් මහතා විරෝධතාවයක නියැලී සිටි අතර ලබා දෙන බෙහෙත් වැසිකිළියෙ කවුළුවෙන් එලියට විසි කරන බව තහවුරු වුණා.

ඒ සමගම එම වාට්ටුවේ වෛද්‍යවරයා බදුදීන් මහතාගේ ටිකට් කපා යළිත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත යැවීමට පියවර ගත්තා.

දැරිවිය ගැන රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කිරීමට සූදානම්

බදුදීන් මහතා මෙසේ හදිසියේම රෝහල් ගත වූයේ සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහලේදී මියගිය අවස්ථාවේදී පපුව ප්‍රදේශයේ අසීරුතාවක් තිබෙන බව පවසමින්.

ඉසිළිනි ජූඩ් කුමාර් නැමැති එම බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් දැනට අත් අඩංගුවේ පසුවන රිෂාඩ් බදුදීන් මහතාගෙනුත් ප්‍රශ්න කිරීමට සූදානම් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 20:39