March 29, 2024

තවත් වන අලියෙකු බිලි වෙයි (PHOTOS)

වව්නියාව මඩුකන්ද වැව්තාවුල්ලේදී හක්කපටස් බෝම්බයක් පිපිරී යාම හේතුවෙන් මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද (28) දින සොයා ගත් බව වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසනවා.

වන අලියා වැව් තාවුල්ලේ කැලෑබද ප්‍රදේශයක වැටී සිටිනු ගම්වාසියෙකු දැක ඒ බව වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරික්ෂා කරන විටද වන අලියා මිය ගොස් සිටි බව වනජීවි නිලධාරීන් පැවසුවා.

දින කිහිපයකට පෙර වන අලියා හක්ක පටස් බෝම්බයකට ගොදුරු වී ඇති අතර පසුව ආහාර ගැනීමට නොහැකිව තුවාලය නරක්වීම හේතුවෙන් වන අලියා මිය ගොස් ඇති බවට වනජීවි නිලධාරීන් සැක පල කර සිටිනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 05ත් 06ත් අතර වයසැති උස අඩි හතර හමාරක් පමණ වූ වන අලියෙකු වන අතර හක්ක පටස් බෝම්බය තිබූ ස්ථානය සහ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ බව ද වනජීවි නිලධාරීන් පවසනවා.

උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් ඇතුලු වව්නියාව වනජීවි නිලධාරීන් පිරිසක් වන අලියා මිය ගොස් සිටි ස්ථානයට ගොස් අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති අතර හක්ක පටස් බෝම්බය තිබූ පුද්ගලයින් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද වව්නියාව වනජීවි කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 18:35