April 19, 2024

මැණික් පොකුරේ හිමිකරු ගේට්ටු වසාගනී - ප්‍රදේශවාසීන්ට සැකයක්

ලොව විශාලතම නිල් ආරුනූල් වර්ගයේ මැණික් පොකුර මෙරටින් හමු වූ පුවත මේවන විට ජාත්‍යන්තරය වෙත ද ගොස් ඇති බව අප ඊයේ වාර්තා කළා.

එවන් පසුබිමක අදාළ මැණික් පොකුර සොයා ගත් පුද්ගලයා මාධ්‍යට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බව ඒෂියන් මිරර් රත්නපුර වාර්තාකරු සඳහන් කරනවා.

මාධ්‍යවේදීන්ට පමණක් නොව කිසිදු පුද්ගලයෙකුට ඔහුගේ නිවස පිහිටි භූමියට ඇතුළු වීම තහනම් වී ඇති බව යි වාර්තා වන්නේ.

එපමණක් නොව ඔහු සිය දුරකතනයට ද පිළිතුරු ලබා නොදෙන බව සඳහන්.

සිය නිවස පිටුපස ළිඳක් කනිමින් සිටිය දී මෙම මැණික් පොකුර අදාළ පුද්ගලයාට හදිසියේ හමු වූ බව මීට පෙර වාර්තා වූවා.

මෙම සිදුවීම වී ඇත්තේ මීට වසරකට පමණ පෙර යි.

මැණික් පොකුර සොයාගත් පුද්ගලයා මහා මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණත්, ඔහු පතල් කර්මාන්තයේ යෙදෙන්නෙකු බව අප වාර්තාකරු පවසනවා.

එවන් පසුබිමක් මත අදාළ පතල්කරු වාසය කරන ප්‍රදේශයේ පුද්ගලයින් බොහෝ දෙනෙකු අදහස් පළ කරමින් පවසා ඇත්තේ මෙම මැණික් පොකුර ළිඳක් කැපීමේ දී හමු වූ බවට තමන් විශ්වාස නොකරන බව යි.

මෙම පතල්කරු සතුව පතල් කිහිපයක් පවතින බවත්, ඒවායින් එක් පතලකින් මෙම මැණික් පොකුර හමුවන්නට ඇති බවත් ඔවුන් පවසනවා.

මැණික් පොකුර හමු වූ නිවැරදි ස්ථානය පැවසුවහොත්, විවිධ පුද්ගලයින් පැමිණ අදාළ ස්ථානය සහ අවට මහා පරිමාණයෙන් හෑරීමට ඉඩ ඇති නිසා මෙලෙස සත්‍ය සඟවන බවට ද ප්‍රදේශවාසීන් සැක පළ කරනවා.

එමෙන්ම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මැණික් පොකුර මාධ්‍යවාර්තාවන් හි පළ වූ තරම් වටිනාකමක් නොමැති බව තමන් විශ්වාස කරන බව යි.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 28 July 2021 17:34