April 25, 2024

ගුරුවරුන් රැවටීමේ උත්සාහයක් - ඇමැති අනුරාධගෙන් හෙළිදරව්වක්

මේ මොහොතේ සියලුම දෙනා රට ගැන සිතා වැඩ කළ යුතු බවත් ගුරුවරුන් විසින් කරගෙන යනු ලබන උද්ඝෝෂණයට විසඳුම් ලබා දෙමින් තිබියදීත් වෙනත් කණ්ඩායම් වල අවශ්‍යතාව මත රජය අපහසුතාවයට පත්කරමින් මේ කරගෙන යන අපහසුකාරී වැඩපිළිවෙළ නිසා ජනතාව හා දරුදැරියනුත් අපහසුතාවයට පත්වන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.

වාරි සෞභාග්‍යයා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමටත් ප්‍රදේශ කීපයක වැව් සහ ඇළ මාර්ග වර්ධන කටයුතු ආරම්භ කිරීමටත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඊයේ (27) නිරතවිය.

එහිදී මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වූ අතර බණ්ඩාරගම පනාපෙ ඇල, බොලබොටුව යාය ඇළ හා අමුණ සංවර්ධනය, කැටපිටවල යාය සංවර්ධනය, පානදුර ප්‍රාදේශීයේ පැණිඅඹපල්ල අමුණ සංවර්ධනය, කරදිය අමුණ සංවර්ධනය, පාදාගොඩ හා බේරුවල ප්‍රදේශවල කිතුල් ගහ ඇල හා අමුණු සංවර්ධනය, කළුවාමෝදර ගංගාව ආශ්‍රිත ගොවි පවුල් වල ගැටළු සාකච්ඡා කිරීම ද සිදු කරන ලදී.

එහිදී වර්ෂාව වැඩිවන කාල තුළදී තවම ගොවිබිම් ගංවතුරෙන් යට වී තම වගාව විනාශ වීම පිළිබඳව ගොවීන්ගෙන් විශාල මැසිවිලි නැගුණු අතර ඔවුන් විසින්ම ඒ පිළිබඳව යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ පිලිබඳ අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු කරමින් ඉදිරි සති දෙක ඇතුළත අවශ්‍ය ව්‍යාපෘතියක් සහ වාර්තාවක් සකස් කර දෙන මෙන් රජයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුරාධ ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විසඳුම් ලබාදී ඇති ප්‍රශ්නයක් නැවත නැවතත් අර්බුදයකට ගෙන යාමට යම් පිරිසක් සූදානම් වන බව ප්‍රකාශ කළ අනුරාධ ජයරත්න මහතා මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ආණ්ඩුව ඉතා සංවේදීව සියලු ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන බවත් ඒවා මර්දනය කිරීමට කටයුතු නොකරන බවත්ය.

නොයෙකුත් කණ්ඩායම් වල අවශ්‍යතා මත ගුරුවරුන් රැවටීමේ උත්සාහයක් තිබෙන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා අප සියලු දෙනාගේ ඇස් පාදන සියලුම දෙනාගේ ගරු බුහුමානයට පාත්‍ර වන ගුරුවරුන් හෙට දිනයේ අපේ ඉදිරි අනාගත පරපුර පෙළගස්වන්නන් හැටියට අන්තවාදී කණ්ඩායම් වලට නොරැවටී නිවැරදි දේ අවබෝධ කර ගනිමින් අප රට ජයග්‍රහනය කරා යොමු කිරීමට කටයුතු කරන මෙන් එතුමන් ඉල්ලීමක්ද කළේය.

මෙම වැඩසටහන් මාලාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත මහතා,ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇතුළු දේශපාලන නායකයින් රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 14:57