March 29, 2024

ඉෂාලිනිගේ දෙමාපියන්ගෙන් දෙවන වරටත් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි බාල වයස්කාර දැරියක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අදත් ක්‍රියාත්මකයි.

දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයට ගොස් සිටින විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විසින් එම විමර්ශන කටයුතු සිදු කරනවා.

කොළඹ සිට පැමිණි මෙම කණ්ඩායම දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ විමර්ශන කටයුතු ආරම්භ කලේ ඊයේ පෙරවරුවේ සිටයි.

දැරියගේ මවගෙන් සහ පියාගෙන් ඔවුන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්කරු දැරියන් 11 දෙනකු ගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

දැරිය මිය යාමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙක්  ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේ දැරියගේ සිරුර ගොඩගෙන ජේෂ්ඨ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය මිහිදන් කර ඇති ඩයගම සුසාන භූමියට ඊයේ(26) සිට පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.

දැරියගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණය නියෝග කිරීමත් සමග මෙලෙස සුසාන භූමියේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 16:33