April 19, 2024

ලංකාවම හෙල්ලූ 'මැණික් පොකුරේ' ඇත්තම කතාව

ලොව විශාලතම ‘තාරකා මැණික් පොකුර’ ලෙස සැළකිය හැකි මැණික් පොකුරක් සොයාගෙන ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ සනාථ කළා.

මෙම මැණික් පොකුර කැරට් මිලියන 2.5ක අගයකින් යුතු අතර එහි බර කිලෝ ග්‍රෑම් 510ක් පමණවන බවයි වාර්තා වන්නේ.

මෙතෙක් සිදු කළ නිරීක්ෂණයන්ට අනුව එහි මුදල්මය වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ විය හැකි බවට ගණන් බලා තිබෙනවා.

මෙරට මුදලින් එම ගණන රුපියල් කෝටි 2000කට අධිකයි.

පර්යේෂකයින් විශ්වාස කරන්නේ මෙම මැණික් පොකුර මීට වසර මිලියන 450කට පමණ පෙර නිර්මාණය වූ එකක් බව යි.

සිය නිවස පිටුපස ළිඳක් කැපීමේ දී මෙම මැණික් පොකුර හමු වී ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හට යි.

මීට වසරකට පමණ පෙර මෙම මැණික් පොකුර හමු වී ඇතත් මෙය විශාල වටිනාකමකින් යුතු බැවින් එය මෙතෙකු ප්‍රසිද්ධ නොකළ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා අනාවරණය කළා.

මේ අතර ජාතන්තර මැණික් විශේෂඥයෙකුවන ආචාර්ය ගාමිණී සොයිසා මහතා මෙම මැණික් පොකුර පිළිබඳ පරීක්ෂාවක් සිදු කොට තිබෙනවා.

ඔහු පවසන්නේ මෙය “නිල් ආරුනූල්” ස්ඵටික පිහිටි ප්‍රාථමික මැණික් පොකුරක් බව යි.

සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙය ඉතා දුර්ලභ පිහිටීමක් බව යි.

ඔහු වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේ ස්ඵටිකීකරණය වී මැණිකක් ප්‍රාථමික පාශාණයක නිර්මාණයවන විට එක් ස්ඵටිකයක් ලෙස තනි මැණිකක් නිර්මාණය නොවී මැණික් කිහිපයක් එකට සෑදීම මැණික් පොකුරක් ලෙස හඳුන්වන බව යි.

රත්නපුරයෙන් හමුවූ මැණික් පොකුරෙහි මැණික් 1000කට වඩා ඇති බව යි ඔහු අනාවරණය කරන්නේ.

මීට පෙර ලෝකයේ විවිධ රටවල්වලින් විවිධ වර්ගයේ මැණික් පොකුරු හමු වී ඇතත්, තම විශ්වාසයට අනුව නිල් ආරුනූල් වර්ගයේ මැණික්වලින් සෑදුණු ලොව විශාලතම මැණික් පොකුර මෙය බව ඔහු සඳහන් කළා.

සාමාන්‍ය මැණිකක් හමුවුණු විට එය කපා ඔපදමා විකිණීම සිදුකරන නමුත් මෙවන් දුර්ලභ මැණික් පොකුරක් හමුවීමේ දී එහි කෞතුක වටිනාකමක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කපා ඔප දැමූ තනි මැණික් ගල් පහසුවෙන් සොයාගත හැකි නමුත් මෙවැනි මැණික් පොකුරක් ඉතා දුර්ලභ බැවින් මෙය කපා ඔප දැමීමට වඩා මේ අයුරින්ම එක පොකුරක් ලෙස තැබීමෙන් වටිනාකම බොහෝ සෙයින් වැඩිවන බව ඔහු අවධාරණය කරනවා.

මේ අතර මෙම මැණික් පොකුර පිළිබඳ ජාත්‍යන්තරයේ ද දැඩි අවධානය යොමුව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක්ම මේ පිළිබඳ වාර්තා කර තිබුනේ එවන් පසුබිමක යි.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 27 July 2021 19:55