April 23, 2024

මුලතිව්හි පිපිරීමෙන් පුද්ගලයෙකුට බරපතලයි (PHOTOS)

මුලතිව් පොලිස් වසමේ කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක අද (27) දින සිදු වූ පිපිරීමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි මුලතිව් පොලීසිය පවසනවා.

අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු දර කැපීමට යැයි පවසා අසල රක්ෂිතයට ගොස් ඇති අතර එහිදී පොළවෙන් මතුවී තිබූ බෝම්බයක් හෝ යම් පුපුරණ ද්‍රව්‍යක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලදී හෙලිවී ඇතැයි පොලීසිය පවසයි.

පිපිරීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට පිපිරීම සිදු වූ ස්ථානයේ තිබී තවත් බෝම්බ බව සැක කෙරෙන කොටස් කිහිපයක් මෙන්ම කැඩී ගිය පොරවක්ද තිබී සොයා ගෙන තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වලදමා තිබූ බෝම්බ පොළවෙන් උඩට මතුව තිබීම හේතුවෙන් එවා ගොඩට ගැනීමට යාමේදී කිසියම් බෝම්බයක් පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටිනවා.

කෙසේවෙතත් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට මාරු කොට යවා ඇති බවටද පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 16:24