April 24, 2024

වැඩිම එන්නත්කරණය ඊයේ - තවත් සයිනොෆාම් ලක්ෂ 16ක් මෙරටට

චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් සහ ඒවා එන්නත් කිරීම සදහා භාවිතා කිරීමට එන්නත් සිරිංජර ලක්ෂ 16 ක් ද අද (27) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 02කින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

මෙම එන්නත් සහ සිරිංජර තොගය භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්හොන්ග් (Qi Zhenhong), සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති එන්නත් ප්‍රමාණය අතරින් 75% ක් ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් බවත්, එම එන්නත් ශ්‍රී ලංකාව මිළදී ගත් සහ ශ්‍රී ලංකාවට චීනය පරිත්‍යාග කළ ඒවා බව ද පැවසුවා.

එසේම චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බව ද පැවසුවා.

මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළා.

එසේම අද දින පැමිණි මෙම එන්නත් ලක්ෂ 16 ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාතේ ජනතාව 100% ක් ම එන්නත් කිරීම සදහා යොදවන බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා.

මේ වනවිට රෝහල් වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් , විශේෂයෙන්ම මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල දක්නට ලැබෙන බව මෙම අවස්ථාවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවා.

එසේම මේ වනවිට ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා එක් කෝටි තිස් අට ලක්ෂයක් (138,00,000) පරිත්‍යාග සහ මිළදී ගැනීම් යටතේ ලැබී ඇති බව ද පැවසුවා.

එමෙන්ම මෙම සයිනොෆාම් එන්නත් මේ වනවිට මාත්‍රා එක් කෝටි හත් ලක්ෂයක් (107,00,000) ක් ලැබී ඇති බවත්, ඒ අතරින් 27 ලක්ෂයක් ම චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කළ ඒවා බව ද සදහන් කළා.

ලබන අගෝස්තු මාසයේ තවත් සයිනොෆාම් එන්නත් විශාල තොගයක් මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව මෙම අගෝස්තු 31 වනවිට ශ්‍රී ලංකාවේ වාසය කරන වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දී අවසන් කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 19,537 ක් බර, ඇසුරුම් 60 ක අසුරා තිබූ අතර, එන්නත් සිරිංජර තොගය කිලෝ ග්රැම් 6,864 ක් බර ඇසුරුම් 500 ක අසුරා තිබුණා.

මෙම එන්නත් සහ සිරිංජර තොගය රැගත් පළමු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්  යානය වූ , යූ.එල්.- 865 දරන ගුවන් යානය අද (27) දින උදෑසන 08.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබුවා.

ඉන්පසුව මෙම එන්නත් සහ සිරිංජර රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දෙවන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වූ , යූ.එල්.- 869 දරන ගුවන් යානය අද (27) දින උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබුවා.

මෙම එන්නත් අඩංගු සියලු ඇසුරුම් මත " China Aid - For Shared Future " ලෙස සටහන් කර තිබෙනු දක්නට ලැබුණා.

අද මෙරටට රැගෙන ආ එන්නත් තොගයත් සමඟ මේ වන විට මෙරටට රැගෙන විත් ඇති සම්පුර්ණ එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක්කෝටි තිස් අට ලක්ෂ හතලිස් නව දහස් නවසිය තිහක්.

මේ අතර කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනකදී මෙරට තුල ලබා දුන් එන්නත් සංඛ්‍යාවේ වාර්තාව යලි අලුත් වී තිබෙනවා.

ඒ අනුව ගත වූ දිනයේදී ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන 437,878ක්. ඒ යටතේ පුද්ගලයින් 356,628කට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් සංඛ්‍යාව 55,722ක්. එසේම මොඩෝනා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 25,420 දෙනෙකුට ලබා දී ඇති අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108 කට ගෙවුණු දිනයේදී ලබා දී තිබෙනවා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 14:49