March 28, 2024

අලුත් වාහන රටේ නැති වෙලේ සිදු කළ ජාවාරමක තතු එළියට

වාහන ජාවාරමක යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.

මෙම පුද්ගලයා, වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වී ඇති බව යි පොලීසිය සඳහන් කරන්නේ.

අදාළ තැනැත්තා හෝමාගම ප්‍රදේශයේ කුලී රථ ලබා දෙන ස්ථානයකින් සුඛෝපභෝගී වාහනයක් සති දෙකක කාලයක් සඳහා කුලියට ලබා ගෙන තිබෙනවා.

මෙම වාහනය ලක්ෂ 50ක් පමණ වටිනා එකක්වන අතර රථය කුලියට ලබා ගත් මොහු අතුරුදන් වී ඇති බව යි පැවසෙන්නේ.

ඒ අනුව සිදු කළ පරීක්ෂාවක දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් අදාළ කුලී රථ ආයතනයට පබා දී ඇති ලේඛණ ද ව්‍යාජ ඒවා බවට යි.

පසුව මේ සම්බන්ධයෙන් පොලීසිය සිදු කළ විමර්ශනයකින් අනතුරුව එම පුද්ගලයා කොටුකරගැනීමට සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ 32 හැවිරිදි අයෙක්.

ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ නම් ඔහු මහනුවර, කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් විවිධ වංචා පිළිබඳව පැමිණිලි 48ක් පමණ ලැබී ඇති බවයි.

එමෙන්ම අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් මහනුවර අධිකරණය හමුවේ විවෘත වරෙන්තු 06ක් ද පවතින බවට ද මේවන විට අනාවරණය වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 11:31