April 20, 2024

ජනපති හමුවූ ශ්‍රීලනිපයට පොහොට්ටු ලේකම්ගෙන් වාග් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි විවේචන කරමින් අදහස් පල කර තිබුණා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇමැතිවරුන්ට ප්‍රසිද්ධියේ විවේචනය කර තිබූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි චෝදනා එල්ල කර තිබුණා.

මේ අතර ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය නොවන බවය.  

සන්ධානයේ ප්‍රධාන පක්ෂය නෙමෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ පෙර සිටි මානසිකත්වයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙනවා.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහොම සුළුතරයක් රජයෙන් කෙනහිලිකම් කරනවා කියන මතයක ඉන්නවා. අපි දැක්කා එක ඇමතිවරයෙක් කියනවා ඔහුට ලැබුණේ විහිළු ඇමතිකමක් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු තාම ඉන්නේ කලින් හිටපු මානසිකත්වයේ. ඒ කියන්නේ ඔවුන් ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ. මේ වනවිට ඔවුන් සන්ධානයේ ප්‍රධාන පක්ෂය නෙමෙයි. සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. දේශපාලන පරිණතභාවයක් තියෙන එතන ඉන්න නායකයෝ ඒ කාරණය තේරුම් අරන් තියෙනවා. සමහර අය ඒක තේරුම් අරන් නෑ." යැයිද ඔහු සඳහන් කළා.

ශ්‍රීලනිපයට ජනපති පැය දෙකහමාරක් දෙයි

මේ අතර ශ්‍රීලනිපය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ දින පැවැත්වීමට සැලසුම් කර තිබූ පැයක සාකච්ජාව පැය දෙකහමාරක් පුරා ඇදී ගොස් ඇති බව දැනගන්නට තිබුණා.

මෙහිදී ශ්‍රී ලනිප නියෝජිතයන් තම පක්ෂ සාමාජිකයන්ට වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇති කෙණෙහිලිකම් සහ දෙපාර්ශ්වය අතර අස්සන් කළ ගිවිසුම පිළිබදව අවධානය යොමු කොට ඇති බව වාර්තා වනවා.

මෙහිදී දෙපාර්ශ්වය අතර ගැටලු විසදා ගැනීම සදහා පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද දැනගන්නට තිබෙනවා.

ජනපතිගේ ප්‍රතිචාරය හොඳයි

මීට අමතරව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ වර්තමානයේදී ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදවද ශ්‍රි ලනිපය සාකච්ජා කොට තිබෙනවා.

එහිදී සියලු කරුණුවලට ජනාධිපතිවරයා සාධනීය ප්‍රතිචාර දක්වා ඇති බව දැනගන්නට ඇතැයි වාර්තා වනවා.

මෙම සාකච්ජාවට මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාලද සිල්වා, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන මහත්වරු සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)

Related items