April 23, 2024

ජනපති - ශ්‍රීලනිප සාකච්ඡා ගැන මහ ලේකම් කරුණු කියයි

ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (26) සිදු වූ සාකච්ඡාව සුබදායි බව එම පක්ෂයේ මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

මූලිකත්වය පළාත් පළාත් පාලන නියෝජිත ප්‍රශ්න වලට

එහිදී විශේෂයෙන්ම දේශපාලන කාරණා පැත්තෙන් කෙරුණු සාකච්ඡා අතර ශ්‍රී.ල.නි.ප පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට මෙන් විමධ්‍යගත අරමුදල් ලබා නොදී ඔවුන්ව නොසලකා හැරීමේ ප්‍රශ්නයට මූලිකත්වය ලැබුණු බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

ඒ හැරුණු කොට පොදුජන පෙරමුන නියෝජිතයින් සභාපතිත්වය දරන ප්‍රාදේශීය සංවර්ධන කමිටු වල උප සභාපතිත්වය ශ්‍රී.ල.නි.ප නියෝජිතයින්ට ලබාදීම පිළිබඳවත් අවධානය යොමු වූ බවත් මහ ලේකම්වරයා සදහන් කරනවා.

ඒ කාරණා දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවශ්‍ය විසඳුම් ලබාදෙන බවට ජනපතිවරයා සහතික වූ බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඉන් පසුව රටේ කාලීනව මතු වී තිබෙන පොහොර හිඟය , කොතලාවල විද්‍යා පීඨ පනත , ගුරු වර්ජනය ආදී කරුණු පිළිබඳවද ශ්‍රී.ල.නි.පයේ මතය ජනපතිවරයා වෙත දැනුම් දුන් බවත් මහ ලේකම්වරයා සදහන් කරනවා.

එකගතා පිළිබඳ යළිත් සාකච්ඡාවකට ඉඩ නොතැබීම

මෙම සාකච්ඡාවේදී ඇති කරගත් එකගතා පිළිබඳව යළිත් වරක් සාකච්ඡා කිරීමට ඉඩ නොතබන අයුරින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී.ල.නි.ප නියෝජිත පිරිස ජනපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්ද කළ බව මහ ලේකම්වරයා සදහන් කරනවා.

එම සාකච්ඡාව සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා සමග ලලිත් වීරතුංග මහතාද එක් වූ බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

ශ්‍රී.ල.නි.පය සමග සාකච්ඡාව සඳහා ජනපතිවරයා ලබාදී තිබුණේ පැයක පමණ කාලයක් වුවත් එම සාකච්ඡාව පැය දෙක හමාරකට වඩා කාලයක් පැවැත්වූ බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

ශ්‍රී.ල.නි.ප වෙනුවෙන් එහි සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන , ජේෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර , ජාතික සංවිධායක දුමින්ද දිසානායක , නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය , ලසන්ත අලගියවන්න හා තමන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම එම සාකච්ඡාවට සහභාගි වූ බව මහ ලේකම්වරයා අවධාරණය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 20:35

Related items