March 28, 2024

ඉෂාලිනිගේ මරණ වාර්තාව දුටු මවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අද යලි අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.

ඒ ඔවුන් පැය 48 රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

අදාළ දැරිය කෘරත්වයට පත් කිරීම, බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම, බාලවයස්කාර දැරියක් වෙළදාම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අමතරව රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන ශිහාබ්දින් ඉස්ම්දීන් අත්අඩංගුවට ගනු ලැබුවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍ය ධුරය දරන සමයේ ඔහුගේ නිල නිවසේ සේවය කල තරුණියක් අවස්ථා දෙකකදී දුෂණය කිරීම සම්බන්ධවයි.

එම සැකකරුවන් සිව්දෙනාම පෙරේදා කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 48 රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියෝග කෙරුණා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව කිරුලපන පොලීසියේ රඳවා සිටි අතර ඇගේ පියා, සහෝදරයා සහ බදියුදීන් පවුලට දැරිය අලෙවි කල තැරව්කරු බොරැල්ල පොලිසියේ රඳවා සිටියා. 

අද පෙරවරුවේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිරුලපන පොලිසියේ සිට බොරැල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු සෙසු සැකකරුවන් සමග ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 36 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මිය ගිය දැරියගේ මව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් අද ඉදිරිපත් කළා. 

මියගිය ඉෂාලිනිගේ මව පැමිණිල්ලෙන් අනතුරුව මෙසේ පැවසුවා.

"මගේ ළමයා වැඩ කරපු ගෙදර මගේ දුවට ගොඩක් අපරාධ කරලා තියෙනවා. මොකද ඒ අය මගේ දුවට කෑම දීලා නැහැ. මගේ දුව බල්බ් නැතුව කළුවර කාමරයක ඉඳලා. මගේ ළමයා කළුවරේ ඉන්න බයයි, තනියෙන් ඉන්න බයයි. මම ගිහිල්ලා ඒ කාමරේ බැලුවා. අඩු ගානේ ඒ කාමරයේ බල්ලෙකුටවත් ඉන්න බැහැ. ඒ වගේ කාමරයක් දීලා තිබුණේ. ඒත් කුස්සියෙන් එළියේ පැත්තේ. ඇමතිතුමාගේ ගෙදර කියනකොට අපි හිතුවේ හොඳ ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒක නැහැ දැන්. අපි හිතපු එකත් බොරු වෙලා ගියා. මගේ දරුවත් මේ ලෝකේ නැහැ. ඒ ගොල්ලන්ට හරි දඬුවමක් ලබා දෙන්න ඕනේ කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. මෙතන මම පැමිනිල්ලක් කරන්න ආවේ. මගේ දරුවාගේ මරණ රිපෝට් එකේ මට සැකයක් තියෙනවා. ඒක කරලා තියෙන්නේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක්. ඒක අපහු කරලා එතන මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට ඉදිරිපත් කරන්න."

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 July 2021 14:40