April 25, 2024

ශ්‍රීලනිපය තීන්දුවට සූදානම්! ජනපති හමුවෙන්න පෙර මෛත්‍රීගේ නිවසේ සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එම පක්ෂය, ලිඛිතව ජනාධිපතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එක්ව සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ සාකච්ඡාවට සහභාගී වූයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මෛත්‍රීගේ නිවසේ සාකච්ඡාවක්

ඒ අනුව, ජනාධිපතිවරයා සමග පැවත්වෙන සාකච්ඡාවට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අද පෙරවරුවේ පක්ෂ සභාපතිවරයා සමග ද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඒ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.  

ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී අවධානයට ලක්කරන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගීවීම සඳහා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කෙනෙහෙළිකම් සිදුවන බවට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවේ පදනම

දැන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇති කරගත් ගිවිසුම් පදනම් කර ගනිමින් සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.

ආණ්ඩුවෙන් ඉවත්ව යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීමේ වගකීමක් පක්ෂයට ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)