March 28, 2024

ආණ්ඩුවේ යළි අවුලක්! හවුල්කාර පක්ෂයකින් විරෝධයක්

ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලින් දිගින් දිගටම දැඩි විරෝධයක් මතු කරමින් පවතිනවා.

විශේෂයෙන් විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 ක් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග වෙනුවෙන් විරෝධය පළ කිරීමට කටයුතු කර තිබුණා.

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නැවත වරක් ආණ්ඩුව විවේචන එල්ල කරමින් පවතිනවා.

ආණ්ඩුවේ පක්ෂයකින් ආණ්ඩුවට විරෝධය

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය නොකර ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.

වරින් වර ඉදිරිපත් කළ පනත් කිහිපයක් වෙනුවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙනුවෙන් එක් පනතක් ඉදිරිපත් කරන බවත් එහි හොද මෙන්ම නරක ද තිබෙන බවත් ඒ මහතා සදහන් කළා.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සම්බන්ධයෙන් එම පනතේ යම් යම් වගන්ති තුළින් බාධා එල්ල විය හැකි බවට තමා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ නිගමනය වී තිබෙන බවත් එබැවින් අදාල පනත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලා තිබෙන බවද වීරසිංහ මහතා පෙන්වා දෙනවා.

අදාල පනතට විරුද්ධව ඡන්දය දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස තව දුරටත් ආණ්ඩුවේ සිටීම සදාචාර සම්පන්නදැයි මාතර දී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ අදාල පනතට පමණක් විරුද්ධ වන බවත් එම තීරණය තම පක්ෂයේ තීරණයක් වන බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 14:17