March 28, 2024

දුමින්දගේ තනතුරට අගමැතිගෙන් වෙන චොයිස් එකක්

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට ජනපති සමාව ලැබූ දුමින්ද සිල්වා මහතා පත් කර තිබුණද ඒ සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඊට හේතුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම තනතුරට වෙනත් කෙනෙකු පත් කිරීමට සූදානමින් සිටින අතරතුර අග්‍රාමාත්‍යවරයාද නොදැන දුමින්ද සිල්වා මහතා එම තනතුරට පත් කිරීමේ ලිපිය සමාජගත වීමයි.

අග්‍රාමාත්‍යවරයාගේ තේරීම

හිටපු මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක වූ චිත්‍රා මන්තිලක මහත්මිය එම ධූරයට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වී සිට තිබෙන්නේ.

මන්තිලක මහත්මිය එ.ජා.පයෙන් ඉවත්ව සිය ස්වාමිපුරුෂයා වන ගාමිණී අබේරත්න නොහොත් "ටැක්සි අබේ" සමග පොදුජන පෙරමුණේ ජයග්‍රහනය වෙනුවෙන් කළ විශාල කැප කිරීම හේතුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය මන්තිලක මහත්මියට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කොට තිබෙන්නේ.

රාජ්‍ය ඇමති සමග අවුල

නිවාස සංවර්ධන අධිකාරිය නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා යටතේ තිබෙන අතර ඒ කැබිනට් අමාත්‍ය ධූරය දරන්නේ අග්‍රාමාත්‍යවරයායි.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ වැඩ කිරීමට නොහැකි බව පවසමින් එහි හිටපු සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් අස් වුණා.

රේණුක පෙරේරා මහතා පොදුජන පෙරමුණ කාර්‍යාලයේ ප්‍රබලයකු මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු හිතවතෙකු වන අතර ඔහුගේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කළද ඉන් ඵලක් වූයේ නැහැ.

පත්වීම් ලිපිය සමාජයේ අවධානයට

නිදහස ලබා කෙටි කලක් යාමටත් මත්තෙන් දුමින්ද සිල්වා මහතා එම තනතුරට පත් කිරීම පිළිබඳව සමාජයේ විශාල අවධානයක් යොමු වුණා

දුමින්ද සිල්වා මහතාගේ එම පත්වීම් ලිපිය ජනපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුවයි නිකුත් කොට තිබුණේ.

කෙසේ වෙතත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ චෝදනාව මත මරණීය දණ්ඩනය ලැබූ දුමින්ද සිල්වා මහතා ජනපති සමාව මත නිදහස් වූ අතර තවමත් ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ වැඩ භාරගෙන නැති බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 25 July 2021 15:43