April 19, 2024

ස්ථිර විසඳුම් දෙන්න ලේකම් බෑ කියයි - ඇමතිගෙන් කැබිනට් පත‍්‍රිකාවක්!

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
 
වසර 20 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලුවට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ලබන 26 වනදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.

අමාත්‍යාංශයට විසඳුම් දෙන්න බෑ
 
එහිදී ගනු ලබන තීරණය අනුව ඉදිරි කටයුතු කරගෙන යෑමට හැකි බවත් වැටුප් විෂමතා ඉවත් කිරීම වැනි ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට තනිව ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළා.
 
අධ්‍යාපන වෘත්තීය සමිති නායකයෙකු ඇතුළු කිහිපදෙනෙක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පිරිස් ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ සිට වෙනත් ඉල්ලීම් දක්වා වර්ධනය වී ඇති බවත් එයින් දැඩි අසාධාරණයක් සිදු වී තිබෙන්නේ පාසල් දරුවන්ට බවත් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ ජාතික පුවත්පතකට අදහස් දක්වමිනි.

අරගලය දිගටම

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ සිය ඉල්ලීමට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු දැනට ක්‍රියාත්මක ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට ගුරු විදුහල්පති සංගම් ඊයේ (22) යළි අවධාරණය කළා.

ඔවුන් මේ බව කියා සිටියේ ඊයේ විරෝධතා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් එහි නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.

වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනය අද 11වන දිනටත් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය අදත් ඇණ හිට තිබුණා.

පොලීසියෙන් බාධා නෑ

මෙවැනි වාතාවරණයක ඊයේ ගුරු විදුල්පති වෘත්තීය සමිති කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූවා.

උද්ඝෝෂණයට දිවයින පුරා ගුරු විදුහල්පති වෘත්තීය සමිති 32 ක් එක්වූ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වෘත්තීය සමිති නායකයින් එක්වූයේ නැහැ.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ගුරු සංගම් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් පාරේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිටියේය.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට දන්වා ඇති පසුබිමකය.

කෙසේ වෙතත් උද්ඝෝෂණයට ඊයේ පොලීසියෙන් බාධා එල්ල වූයේ නැහැ.

Rate this item
(0 votes)

Related items