April 25, 2024

පොලිස් කණ්ඩායමක් රිෂාඩ්ගේ නිවසට - රිෂාඩ්ගේ බිරියගෙන් ප්‍රශ්න කරයි

මෙහෙකාර සේවයට යොදාගත් බාල වයස්කාර දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදියුදීන්ගේ මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් පොලීසිය අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානය වෙත කැදවා ඇයගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, ඇයට අමතරව තවත් දෙදෙනෙකුගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එසේම, දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පොලිස්  කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැඳවා අද පැවති සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

නීතිය ක්‍රියාත්මක වී නැහැ

කෙසේ වෙතත් 16 හැවිරිදි අදාළ දැරියගේ මරණය සිදුවී සතියක කාලයක් ගතව ඇතත් ඊට වගකිවයුතු පුද්ගලයින්ට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වී නැහැ.

මේ අතර දැරියගේ මව චෝදනා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වෙනත් දිශාවකට යොමු කිරීමේ උත්සාහයක්ද පවතින බවයි.

පවුලේ ආර්ථික අපහසුතා නිසා ඉෂාලීනි ජූඩ් නැමති මෙම දැරිය පසුගිය වසරේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් තිබූ අතර ඇයගේ මව සඳහන් කළේ එහි සේවය කරන අතරතුරදී තමාට දුරකථන ඇමතුම් ලබාදී තවදුරටත් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටිය නොහැකි බැවින් තමාව රැගෙන යන ලෙසට දියණිය කිහිප වරක් ප්‍රකාශ කළ බවයි.

දැරිය එලෙස ප්‍රකාශ කළද මව්පියන්ට හැටන් - ඩයගම සිට කොළඹට පැමිණ එම දැරිය රැගෙන යාමට නොහැකිවී තිබුණේ පළාත් අතර සංචරණ සීමා පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගිය 3 වනදා අදාළ දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇති බවට ඇයගේ දෙමාපියන් දැනුවත් කර තිබූ අතර, ඇය ඉකුත් 15 වැනිදා මෙලොව හැර ගියා.

දේහය පිළිබඳ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනාවරණ වී තිබුණේ ඇය කලක පටන් අතවරවලටද ලක්ව ඇති බවටයි.

මේ අතර, දැරියට සිදුවූ අසාධාරණයට එරෙහිව අද මුලතිව් නගරයේදී පිරිසක් නිහඬ විරෝධතාවක නිරතවුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 July 2021 00:17