March 29, 2024

දුමින්ද සිල්වා "කොළඹ චණ්ඩියාට" අන්දා පෝරකේට යැවූ අය හිරුණිකා හෙළිකරයි

දුමින්ද සිල්වා මරණ දණ්ඩනය දක්වා යෑමේ වගකීම ඔහු පමණක් නොව ඔහුව ඒ තැනට යොමු කළ පුද්ගලයින්ද ගත යුතු බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය චෝදනා කරනවා.

දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය හිමි වීමට හේතු වූ සිය පියා ඝාතනය කළ සිද්ධිය සිදු වූ කාල වකවානුවේ සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඉහළ දේශපාලන ප්‍රධානීන්ටද තමා ඇඟිල්ල දික් කරන බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ ඊට හේතුවද පෙන්වමින්.

චන්ඩියාට ඇන්දුවේ ඒ පිරිසයි

දුමින්ද සිල්වා වැනි පුද්ගලයෙකුව ඒ පිරිස තබා ගත්තේම කොළඹ චන්ඩිකම් කිරිමේ අරමුණින් බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මතය වන්නේ.

දුමින්ද සිල්වා මහතාව චන්ඩිකම් වලට පොළඹවා මේ තත්ත්වයට ඇදලා දැම්මේ එම දේශපාලන පිරිස බව සඳහන් කරන ප්‍රේමචන්ද්‍ර මහත්මිය දුමින්ද සිල්වා මහතා හැදී වැඩුණු නිවස තුළ තිබුණු පරිසරය මෙන්ම ඔහු වටා තිබූ සමාජ පරිසරය මත ගොඩනැගුණු පුදුමාකාර දේශපාලන හයිය මරණීය දණ්ඩනය කරා යෑමට හේතු වූ බවද පෙන්වා දෙනවා.

වපුරපු දේ නෙලා ගන්න වෙනවා

මවක් ලෙස දරුවන් හැදීම පිළිබඳව අදහස් දක්වන ප්‍රේමචන්ද්‍ර මහත්මිය වපුරන දේ නෙළා ගන්නට සිදුවන බව සදහන් කරන්නේ දුමින්ද සිල්වා මහතා කෙදිනක හෝ මරණීය දණ්ඩනයකට ලබා ගනිතැයි ඔහුගේ දෙමාපියන් ඔහු කුඩා කාලයේදී කිසි විටෙකත් සිතන්නට නොමැති බවද මතක් කර දෙමින්.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබාදීමට එරෙහිව මේ වන විටත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය වෙත අභියාචනයක්ද ඉදිරිපත් කොට තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 22 July 2021 20:36

Related items