March 29, 2024

අද ගෙන්වූ එන්නත් ලබා දෙන ප්‍රදේශ මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , චීනයේ නිෂ්පාදිත " සයිනොෆාම් " එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 20 ක් අද (22) අලුයම චීනයේ බෙයිජිං අගනුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළා.

අද දිනයේ මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතයි.

එමෙන්ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබා දීමට සැලසුම් කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකාවට කොරෝනා මර්දනය සදහා එන්නත් වැඩිම ප්‍රමාණයක් වූ, එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක්, ගෙන්වූ දෙවන අවස්ථාව මෙයයි.

දකුණු ආසියානු කළාපයේ වේගවත්ම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන අතර, ඒ සදහා මේ වනවිට මෙම එන්නත් තොගයත් සමග, සයිනොෆාම් එන්නත්  මාත්‍රා ලක්ෂ 91ක් චීනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසූමන මහතා පැවසුවා.

මෙම එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් රැගෙන චීනයේ බෙයිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (22) දින අලුයම 01.00 ට ශ්‍රී ලංකාව බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 869 දරන පළමු  විශේෂ ගුවන් යානය, අද (22) අලුයම 05.17ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම පළමු ශ්‍රී ලන්කන්  ගුවන් යානය මෙම සයිනොෆාම් එන්නත් තොගය කිලෝ ග්රැම් 17,129 බරැති ඇසුරුම් 57 ක අසුරා රැගෙන විත් තිබූ අතර, ඊට අමතරව කිලෝ ග්රැම් 386 ක් බරැති ඔක්සිජන් වායු ඇසුරුම් 18 ක් ද රැගෙන විත් තිබුණා.

එසේම මෙම සයිනොෆාම් එන්නත් ඉතිරි  මාත්‍රා ලක්ෂ 10 ක් රැගෙන අද (22) අලුයම 01.08 ට චීනයේ බෙයිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන දෙවන විශේෂ ගුවන් යානය අද (22) දින අලුයම 05.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානය තුළ ද මෙම එන්නත් කිලෝ ග්රැම් 17,141 බරැති ඇසුරුම් 57 ක් තුළ අසුරා තිබුණා.

මෙම එන්නත්  අඩංගු ඇසුරුම් කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු වුණා.

ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින්, ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කෙරුණා.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 10:24