March 28, 2024

ආණ්ඩුවේ ඇමති කෙනෙක් ගැන ජ.වි.පෙන් අමුතු සැලකිල්ලක්

ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් ලෙස ආණ්ඩුවක ඇමතිවරුන් ඇගයීමට ලක් කරන්නේ නැහැ.

එහෙත් එම සම්ප්‍රදාය කඩ කරමින් ජ.වි.පෙ මේ වන විට ආණ්ඩුවේ එක් ඇමතිවරයෙක් විශේෂ ඇගයීමකට ලක් කර තිබෙනවා.

දූෂණ චෝදනා නැති ඇමති

විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාව විශේෂයෙන්ම ජ.වි.පෙ (පාර්ලිමේන්තුවේ හැඳින්වෙන්නේ ජාතික ජන බලවේගය ලෙස)මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ඇගයීමකට ලක් කළේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන්ට එල්ල වන චෝදනාව වන මහජන මුදල් කොල්ලකෑමේ චෝදනාව ඔහුට එල්ල වන්නේ නැති බව සඳහන් කරමින්.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා රජයේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් ඉතා දැඩි කලකිරීමක සිටීම ජ.වි.පෙ විසින් ආණ්ඩුවට එරෙහිව උපක්‍රමශීලීව පාවිච්චි කරන බවයි.

දැඩි කලකිරීමක සිටීම

විශේෂයෙන්ම අලහප්පෙරුම මහතා ඇමති ධූරය දරන විදුලි බල අමාත්‍යාංශ විෂයට සම්බන්ධ කැබිනට් පත්‍රිකා ඔහු නොදැනුවත්ව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩි කලකිරීමක සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

යුගදනව් බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කොට තිබෙන කැබිනට් පත්‍රිකාව පිළිබඳව අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට ඉකුත් 19 හා 20 විශ්වාසභංග යෝජනා විවාදය පැවැති දින දෙකේදී ජ.වි.පෙ නායක කුමාර දිසානායක මහතා බලවත් උත්සාහයක යෙදුණා.

කතා කරගත් බෝලය දාන්න බැරි වීම

අනුර කුමාර දිසානායක මහතා නගන ප්‍රශ්න වලට පිළිතුරු දීමට අලහප්පෙරුම අමාත්‍යවරයාද සූදානමින් සිටියද එය ව්‍යාර්ථ උනේ ආණ්ඩුවෙන්ම ඊට එල්ල වූ බාධා නිසයි.

එමෙන්ම පසුගිය මහමැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මුල් තැනින් අලහප්පෙරුම මහතා පහළට දැමීම සඳහා ඔහු තරග කළ පොදුජන පෙරමුණ තුළින්ම කුමන්ත්‍රණයක් දියත් වූ බවට මතයක්ද තිබෙනවා.

මෙවන් කලකිරීමක සිටින ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා රැකගෙන ඔහුට යම් ශක්තියක් ලබාදීම කළ යුතු දෙයක් බවට ජ.වි.පෙ අභ්‍යන්තරය තුළ සාකච්ඡා වී ඇති බවත් දැනගන්නට තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 22 July 2021 09:07

Related items