April 25, 2024

ඡන්දය වෙලාවේ කට්ටි පැන්න තුන් කට්ටුවකින් නිදහසට හේතු

හරින් ප්‍රනාන්දු , කුමාර වෙල්හගම හා රිෂාඩ් බදුදීන් යන මන්ත්‍රීවරුන්ගේ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමට නොපැමිණි හේතු හෙළිදරව් වී තිබෙනවා.

හරින් ප්‍රනාන්දු මහතා විදේශගතව සිටීමත් , කුමාර වෙල්ගම මහතා රෝහල්ගතව සිටීමත් , රිෂාඩ් බදුදීන් මහතා රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටීම යන හේතු ඒ අතර වනවා.

කුමාර වෙල්ගමගේ ස්ථාවරය

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඡන්දය දීමට පැමිණ නොසිටි අතර ඉන් 7ක්ම සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වනවා.

මේ අය අතුරින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේ තෙල් මිල වැඩි කිරීමේ වගකීම තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයට මිස ගම්මන්පිල අමාත්‍යවරයාට නොවන බව සඳහන් කරමින්.

කලක් තමාත් බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි බැවින් ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් තමාට තිබෙන බවද වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා.

රිෂාඩ් බදුර්දීන්ගේ මන්ත්‍රී කණ්ඩායම

රිෂාඩ් බදුදීන් මහතා සමඟ ජන බලවේගයේ සන්ධානගත පාර්ශවයක් වන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වන අතර ඔහුගේ පක්ෂය නියෝජනය කරන ඉතිරි මන්ත්‍රීවරුන් තිදෙනා සමගි ජන බලවේගය ඉදිරිපත් කල විශ්වාසභංගයට විරුද්ධව ආණ්ඩුවත් සමග ඡන්දය දුන්නා.

රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් ස්ථාවරයට පටහැනිව යමින් ආණ්ඩුවත් සමග ඡන්දය දුන් අයද වනවා.

මෙම මන්ත්‍රීවරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය පිළිබඳව රිෂාඩ් බදුදීන් මහතා නායකත්වය දරන පක්ෂය මෙතෙක් කිසිදු විනය පියවරක්ද ගෙන නැහැ.

පක්ෂ නායකයාගේ ආශිර්වාදය

රිෂාඩ් බදුදීන් මහතාගේ අනුදැනුම හා ආශිර්වාදය මත මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ආණ්ඩුවත් සමඟ සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගය ඉදිරිපත් කල බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ඉකුත් 19 හා 20 යන දෙදින තුළ විවාද කළ අතර ඊයේ (20) ඒ සම්බන්ධයෙන් ඡන්දය විමසුවා.

එහිදී අදාළ විශ්වාසභංගය වැඩි ඡන්ද 92 කින් පරාජය වුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 July 2021 13:57